"නැණ මිහිර" 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව නවතම ප්‍රශ්නෝත්තර සංග්‍රහය එළිදැක්වේ...

අගෝ 13, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන නැණ මිහිර නවතම ප්‍රශ්නෝත්තර සංග්‍රහය ඊයේ (12) එළිදැක්වුණා.

    නැණ මිහිර, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් අඛණ්ඩව වසර 15ක සිට විකාශය කෙරෙන දරුවන් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක්. එය නිෂ්පාදනය කරනු ලබන්නේ, රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන අංශය විසින්.  නැණ මිහිර වැඩසටහන් මාලාව රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදිකාවක වන දේවිකා කුමාරසිංහගේ අධ්‍යක්ෂණයක්.

    මෙම වැඩසටහනට සමගාමීව 2013 සිට සෑම වසරකම ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ද මුද්‍රණය කර අලෙවි කෙරෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්.බී. ගනේගල මහතා අතින් ගොඩගේ පොත් මැදුරේ අධිපති සිරිසුමන ගොඩගේ, සරසවි පොත් මැදුරේ අධිපති කුමුදුනී හපුතන්ත්‍රි, ගුණසේන සමාගමේ ප්‍රකාශන කළමනාකරු ජයම්පති රාජකරුණා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකට පෙර ප්‍රශ්න පත්‍ර කට්ටල අලෙවිය සඳහා බාරදෙනු ලැබුවා.

    මෙම ව්‍යාපෘතිය ශිෂ්‍යත්ව විභාගයට අත්වැලක් මෙන්ම රූපවාහිනී සංස්ථාවට මූල්‍යමය ආදායමක් ද හිමිවන ව්‍යාපෘතියක්. කොරෝනා වසංගතය සමයේ ද ප්‍රශ්න පත්‍ර කට්ටල විශාල ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. මේ වසරේ ප්‍රශ්න පත්‍ර කට්ටල 50,000ක් මුද්‍රණය කර ඇති අතර, ඉන් 30,000ක් දැනටමත් ඉල්ලුම් කර අවසන්. කඩදාසි මිල ඉහළයාම හේතුවෙන් එක් ප්‍රශ්නෝත්තර කට්ටලයක් මෙවර අලෙවි කෙරෙන්නේ, රුපියල් 860කටයි. ප්‍රශ්නපත්‍ර කට්ටල 250කට වැඩියෙන් මිලදී ගන්නා අයට වට්ටමක් හිමිවනවා.

    මෙරට රජයේ අනුමත පාසල්වල දක්ෂ හා ජනප්‍රිය ගුරු මඩුල්ලක් නැණ මිහිර වැඩසටහන සහ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය සම්පාදනයට එක්වනවා. මෙහිදී එම පිරිස ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරුණා.   නැණ මිහිර වැඩසටහනේ නිෂ්පාදිකාව ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙහිදී ඇගයීමට ලක්වුණා.

    ප්‍රශ්න පත්‍ර කට්ටල එළිදැක්වීමේ අවස්ථාවට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බී.‍ විජයරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුමේද අතුලසිරි යන මහත්වරුන් හා සංස්ථා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වුණා.

    Last modified on සෙනසුරාදා, 13 අගෝස්තු 2022 20:08

    Latest News