ධානිෂ් ඇතුළු පිරිසගේ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග

අගෝ 29, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතු වලට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් තුන් දෙනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය සැප්තැම්බර් මස 26 වැනිදාට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කුරුදුවත්ත පොලිසියට අද නියම කළේය.

    පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පොලිසිය, අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

    මෙම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින දානිෂ් අලි ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසිල් වසන්ත නැමැති සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් 26 වැනිදා කැඳවීමට නියම කළේය.

    Latest News