උපතින්ම දෑත් සහ පාදයක් අහිමි රශ්මිට “ඒ“ සාමාර්ථ තුනක්...(වීඩියෝ)

අගෝ 29, 2022
  • දැරණියගල ග්‍රාමයේ උපත ලද රෂ්මි නිමේෂා ගුණවර්ධන උපතින්ම දෑත් සහ පාදයක් අහිමි දරුවෙක්.

    ගුරු යුවලකගේ දියණියක් වන ඇය, එම අඩුපාඩුකම් අනාගතයට බාධාවක් කරගත්තේ නැහැ. පාදයෙන් අකුරු ලිවීම හුරු කරගත් රෂ්මි, දෙහිඕවිට දෙල්ඔලුව කණිෂ්ට විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළා. ඇය දිනෙන් දින තම හැකියා වර්ධනය කර ගත්තේ අනෙකුත් දරුවන්ටද ආදර්ශයක් වෙමින්. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඇය, ඉන් ඉහළින්ම සමත් වුණා. අනතුරුව රෂ්මි ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් කිරීමට ඇගේ දෙමාපියන් තීරණය කළා. රෂ්මි නිමේෂාට තම අධ්‍යාපන හැකියාව ඔප්නංවා ගැනීමට එම පාසල තෝතැන්නක් වුණා.

    ඇය අපො‍ස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණේ, ඒ සාමාර්ථ 8 ක් සහ බී සාමාර්ථයක්ද සමගින්. අනතුරුව ඇය රටේ පාසල් සිසුන්ගේ අභියෝගාත්මක කඩඉඩමකට පැමිණියා. ඒ සඳහා ඇය තෝරා ගත්තේ, උසස් පෙළ වාණිජ විෂය ධාරාවයි. රටේ පැවති ආර්ථික, සාමාජයීය, දේශපාලන අර්බුද හමුවේ අධ්‍යාපනයට වැඩි බලපෑම් එල්ලවූ සමයක රෂ්මි නිමේෂා දැඩි අධිෂ්ඨානයකින් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මෙවර උසස් පෙළ ප්‍රතිඵලවල ඒ සමාර්ථ තුනක් ලබා ගනිමින් ඇය එම කඩඉම ඉහළින්ම ජය ගත්තා. ඇය වැනි විශේෂිත දරුවෙකු දුෂ්කරතා මධ්‍යයේ දැක්වූ දක්ෂතාව සමාජයෙන් අනෙකුත් දරුවන්ටද ආදර්ශයක්.

    Latest News