ශ්‍රීමත් ජේ. ආර්. ජයවර් ධන 116 වැනි ජන්ම සමරුව අද

සැප් 17, 2022

    මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ‍.ආර්.ජයවර්ධන මහතාගේ 116 වැනි ජන්ම සංවත්සරය අදයි. ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවය ‍කොළඹ, ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ සවස පැවැත්විණ. 

    12 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස 1906 සැප්තැම්බර් 17 වැනිදින උපත ලැබූ ජූනියස් රිචඩ් ජයවර්ධනයන් කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. 

    නීතිඥ වෘත්තියට පිවිසීමෙන් අනතුරුව ඔහු 1938 දී ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසයෙන් දේශපාලනයට පිවිසියා. එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භක සාමාජිකයෙකු වූ ඔහු කැළණිය ආසනයෙන් මුල්වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණා.

    මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා දෙස් විදෙස් ඉමහත් ගෞරවයට පාත්‍රවූයේ, ජපානයට සමාව දෙන ලෙස ඉල්ලා සෙන්ෆැන්සිස්කෝ සමුළුවේදී සිදුකළ ඓතිහාසික දේශනය නිසයි. “වෛරයෙන් වෛරය නොසන්සි‍‍ඳේ” යන බුදුවදන සිහිපත් කරමින්, ජපානය අන්තර්ජාතික සහයෝගීතාව සඳහා පිළිගන්නා ලෙස ඔහු කළ ඉල්ලීම ලෝක ප්‍රජාව විසින් පිළිගනු ලැබුවා.           

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ආරම්භය ද එයයි. ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් ජයවර්ධන මහතා 1977 මැතිවරණය විශිෂ්ට ලෙස ජයගනිමින් අග්‍රාමාත්‍ය ධූරයටත්, 1978 දී මෙරට ප්‍රථම විධායක ජනාධිපතිධූරයටත් තේරී පත්වුණා.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජපානය විසින් මෙරටට ප්‍රදානය කරන ලද්දේ, ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි. විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද  ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයි. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය, නිදහස් වෙළඳ කලාප ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන වැඩසටහන් ඔහුගේ පාලන කාලය තුළ මෙරට ක්‍රියාත්මක කෙරුණා.

    116 වැනි ජන්ම සැමරුම් උත්සවයේදී ජයවර්ධන පිළිරුවට මල්දමක් පළඳවා උපහාර පුද කෙරුණා. ඒ,  ඔහුගේ දෙටු මුණුබුරා වූ ප්‍රදීප් ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්.     

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවා තිබූ විශේෂ පණිවුඩය ඉදිරිපත් කරන ලද්දේ ජයවර්ධන මධ්‍යස්ථානයේ ලේකම් ජනරාල් ආචාර්ය නිහාල් හේවගේ මහතා විසින්.

    කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න මහතා සැමරුම් දේශනය පැවැත්වූවා. උත්සවය අමතමින් මෙරට ජපාන තානාපති මිසුකොෂි ‍හිදෙඅකි මහතා කියා සිටියේ, ජයවර්ධන ජනාධිපතිවරයා අනාගතය දුටු ශ්‍රේෂ්ඨ නායකයෙකු බවයි. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු මැතිඇමතිවරුන් සහ ජයවර්ධන පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සැමරුම් උත්සවයට එක්වුණා.

    Last modified on සෙනසුරාදා, 17 සැප්තැම්බර් 2022 10:54

    Latest News