විෂ සහල් ආනයනය කළ බවට පළවන පුවත් අසත්‍යයයි

සැප් 18, 2022

    විෂ සහිත සහල් මෙරටට ගෙනා බවට ඉරිදා මව්බිම සහ ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, පලි‍බෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය පවසයි.

    මේ වසරේ ජනවාරී සිට මෙතෙක් පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි, එහි වැඩබලන පලිබෝධනාශක රෙජිස්ටර් ජනරාල් ලසන්ත රත්නවීර මහතා පෙන්වා දෙන්නේ.

    2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක තොරතුරු පදනම්ව එම පුවත සකස්කර ඇති බවත්, එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බවත්, රත්නවීර මහතා පවසයි.

    මෙවැනි සාවද්‍ය පුවත් මගින් මහජන කැළඹීම් ද ඇති විය හැකියි. එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවවලින් නිසි විමසීමක් කරන්නේ නම් වඩාත් උචිත බවයි ඔහු සඳහන් කරන්නේ. මෙය 2017 වසරේ නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල බව, රත්නවීර මහතා පවසයි.           

    එහෙත් එම පර්යේෂණ තොරතුර ද වැරදි ලෙස වාර්තා කර තිබේ. බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණවලින් නිසා ඒවායේ මිනුම් සිදුකරන්නේ, දසලක්ෂයකට පංගුව බැගින්. එහෙත් මෙම පුවත්පත එය වාර්තා කර ඇත්තේ, එම ප්‍රමාණයන් සියයට ගණන්වලින් බවයි. ඔහු පෙන්වා දෙන්නේ. එසේ බැරලෝහ මැනිය හැකි ක්‍රමයක් ලොව මෙතෙක් සොයාගෙන නොමැත.

     එය ප්‍රායෝගික නොවන බව, වැඩබලන පලිබෝධනාශක රෙජිස්ටර් ජනරාල්වරයා පවසයි. පර්යේෂණ වාර්තාව නිසි අධ්‍යයනයකින් තොරව වාර්තා කර තිබේ. 2022 ජනවාරි සිට පරීක්ෂාකළ සහල්වලට එය අදාළ නොවන්නේ නම්, ‍මෙසේ වාර්තා කිරී‍මේ කිසිදු පදනමක් නොමැති බව ඔහු පවසයි.

    මෙම සිදුවීම හා පුවත් පත් වාර් තා මගින් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් මහජනතාව නොමග යැවීමට ක්‍රියා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ පැමිණිල්ලක් යොමු කරන බවයි වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා පවසන්නේ. 

    Latest News