ජන සභා ගොනැගීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවයකට...

ඔක් 11, 2022

    රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු පිණිස, ජන සභා ගොනැගීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

    හිටපු කථානායක කරු ජයසූරිය සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් අමාත්‍ය මණ්ඩලයට ඊයේ ජන සභා පිළිබඳ සවිස්තර පැහැදිලි කිරිමක්  සිදු කළා. ‍ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ස්ථාපනය කර ඇත්තේ, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ව්‍යුහය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා යි. මෙම ව්‍යුහයන්ට පරිබාහිරව සක්‍රීය ජනතා සහභාගීත්වයක් තහවුරු කෙරෙන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් අවශ්‍ය වන බවට  කතිකාවක්, මෑතකාලීනව දක්නට ලැබුණා.

    මෙහිදී ප්‍රධාන වශයෙන් ගම පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලි තුළ ජනතාවගේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව  නිදහසින් පසු වසර ගණනාවක් පුරා විවිධ අවස්ථාවල සාකච්ඡාවට බඳුන්ව තිබෙනවා. ජන සභා, නැතහොත් මහජන කවුන්සිලය  පිළිබඳව මාධ්‍ය සහ පොදුජන අවධානය නැවත ඉස්මතුවූයේ 2022 වසරේ ජන අරගලය තුළ එම කරුණු  සාකච්ඡාවට බඳුන් වීමත් සමගයි. ජන සභා ක්‍රමය පිළිබඳ සාකච්ඡා කරන විට ශ්‍රී ලංකාවේ අතීත ගම් සභා ක්‍රමයත්, ඉන් පසුව ක්‍රමිකව වර්ධනය වූ පළාත් පාලන ව්‍යුහය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

    මෙරට ගම් සභා ක්‍රමයේ ඉතිහාසය  පණ්ඩුකාභය රජු දවස දක්වා දිවෙන බව, ඉතිහාස මූලාශ අධ්‍යයනය කිරීමේ දී ‍පෙනී යනවා. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිතව වඩාත් දියුණු ශිෂ්ටාචාරයක ලක්‍ෂණ සහිත විධිමත් ගම් සභා ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිරික්සීමේ දී හමු වනවා. මෙරට පැවති  ගම් සභා ක්‍රමය සක්‍රීය ප්‍රජා සහභාගීත්වයක් සහිතව පැවති බව පෙනී යන නමුත්, ඒ තුළ  සමාජ සම්මුතියක් පැවතුනත්, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් නොවූ බවට තර්ක ඉදිරිපත්ව තිබෙනවා.

    ප්‍රභූවාදය ඉදිරිපත් වීම  මත යම් කිසි අධිපති ආධිපත්‍යයක් ඒ තුළ දක්නට වූ බව ඇතැම් ලක්‍ෂණ සාක්‍ෂි දරනවා.  බ්‍රිතාන්‍ය  පාලන සමය තුළ ලංකාවේ පැවති ගම් සභා ක්‍රමය වෙනුවට පළාත් පාලන ව්‍යුහයක් ලෙස ගම් කාරක සභා හඳුන්වා දෙන අතර, ඉන් පසු ක්‍රමයෙන් මහ නගර සභා, සනීපාරක්ෂක මණ්ඩල, සුළු නගර සභා වැනි පළාත් පාලන ව්‍යුහයන් හඳුන්වා දෙනු ලැබුවා.  

    1947 න් පසු සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීම සඳහා විවිධ අවස්ථාවල සාකච්ඡා  සිදු කර තිබෙනවා‍. මතු සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ දැනට පවතින පළාත් පාලන ක්‍රමය තුළ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පවතින ඌනතාවය  පිටු දැකීමටත්, අතීත ගම් සභා ක්‍රමයට වඩා බොහෝ සෙයින් ඉදිරිගාමී ලක්ෂණ සහිතවත්, ස්ථාපනය කළ යුතු සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නව ව්‍යුහයක් ලෙස මෙම සංකල්පය ඉදිරිපත් කර තිබෙනවා.

    මේ තුළින් ජාතික මට්ටම සඳහා ද සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන දැනට පවතින ව්‍යවස්ථාදායකය සඳහා නිරීක්ෂණ සහ මහජන අදහස් ලබා දෙන මණ්ඩලයක් ලෙස ක්‍රියා කළ හැකියි. සියලු ආකාරයේ වෙනස් කොට  සැලකීම් පිටු දැකීමටත්, ජනවාර්ගීකත්වය, ආගමිකත්වය, කුලය  වැනි සාධක මත කිසිවෙකුත් බැහැර‍ නොවන නියෝජනයක් තහවුරු කිරීමත්, ප්‍රභූවාදය ක්‍රියාත්මක වීම නිසා ඉඩ ප්‍රස්ථා ඇහිරීම වැළැක්වීමටත්, තරුණ සහ කාන්තා නියෝජනයන් ප්‍රමාණවත් පරිදි තහවුරු කිරීමටත්, ග්‍රාමීය ජන සභා මගින් යෝජනා කෙරෙනවා. ජන සභාව මගින් ඈත ගම්  නියම් ගම්වල ජීවත් වන මිනිසුන්ගේ හඬ, පාලනයට හවුල් කර ගැනීම සඳහා මේ යටතේ සක්‍රීය මැදිහත් වීමක් සිදු කරනු ලබනවා.  

    ජන සභා පිළිබඳ ජනතා ආකල්පය මතුවන්නේ, ජනතාවගේ සැබෑ හඬ රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය සඳහා දායක කර ගැනීමටත්, එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සක්‍රීය  ප්‍රජා පුරවැසි සහභාගීත්වක් ලබා ගැනීම තුළින් එකී ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමටත්, අවශ්‍ය යාන්ත්‍රණය නිර්මාණය කිරීම සඳහායි.

    ජන සභා සංකල්පය තුළින්

    1. ජාතික ජන සභා ලේකම් කාර්යාලය
    2. ග්‍රාමීය ජන සභා
    3. ප්‍රාදේශීය ජන සභා කළමනාකරණ කමිටුව
    4. ජාතික මහජන සභාව යන අංශ 4 ක් යටතේ ක්‍රියාවට නැංවීමට නියමිතයි.

    ග්‍රාමීය ජන සභාව : ග්‍රාම සේවා වසමක් තුළ ජීවත් වන ජනතාවට එක්ව තමන්ගේ ගමේ කටයුතු පිළිබඳව තීරණය ගැනීමට අවස්ථාව ලබා දීම ග්‍රාමීය ජන සභාව පිහිටුවීමේ මූලික අරමුණයි. ආසන්න වශයෙන් පවුල් 500 කට එක ජන සභාවක් තහවුරු කිරීමට අවස්ථාව හිමි වනවා. ආසන්න වශයෙන් ග්‍රාමීය ජන සභා 14,022 ක් පිහිටු වීමට සිදු වනවා. ජන සභාවක් පවත්වා ගෙන යාම සඳහා ජන සභා ලේකම්වරයෙක් සිටිය යුතුයි.

    ඒ සඳහා දැනට බඳවාගෙන සිටින සංවර්ධන නිලධාරීවරයෙකු පත් කළ යුතුයි. ග්‍රාමීය ජන සභාව සඳහා වසමේ පදිංචි වයස අවුරුදු 16 වැඩි සියලු දෙනාට සහභාගී විය හැකියි. මහ සභා රැස්වීමේ දී සුදුසු සභාපතිවරයෙකු  තෝරා  ගැනීම සිදු කළ යුතු අතර, ඒ සඳහා තරුණයින් පත් කිරීමට දිරිමත් කළ යුතුයි. ග්‍රාමීය ජන සභා කාරක සභාව සඳහා ජනතාව අතරින් 25 දෙනෙකු ‍තෝරා ගත යුතු අතර, සභාපති ඇතුළු පත් වන කාරක සභා සාමාජිකයින් ස්වෙච්ඡා පදනමින් ධුරය දැරිය යුතුයි.

    ප්‍රාදේශීය ජන සභා කළමනාකරණ කමිටුව:-

            මෙය ‍මසකට වතාවක් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සියලුම ජන සභා  සභාපතිවරුන් විසින් පවත්වනු ලබන රැස් වීමක්. හදිසි අවස්ථාවක දී ජන සභා සභාපතිවරුන්ගේ රැස් වීමක් කැඳවීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකියාව පවතිනවා.  ප්‍රාදේශීය ජන සභා කළමනාකරණ කමිටුව විසින් ජන සභාවල ප්‍රගතිය සහ ගැටලු සාකච්ඡා කරනු ලබනවා.

    ජාතික ජන සභාව :-

            ‍එහි මුළු සාමාජික සංඛ්‍යාව සියයක්. ග්‍රාමීය ජන සභාවල කාරක සභා සා‍මාජිකයන්ගෙන් අවස්ථානුකූලව කැඳවනු ලබන  75 ක පිරිසක් හා වෘත්තීය මට්ටමේ වියතුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්,   කාන්තා සහ තරුණ ක්‍රියාකාරීන් අතුරින් කුසලතා ඇඟයීම් මත කැඳවන 25 ක පිරිසකගෙන් සමන්විත වනවා. සෑම මසකට  වරක් අවසන් සතියේ රැස් වන අතර, විශේෂ අවස්ථාවල ද,  රැස්වීමට හැකියි. ජාතික ජන සභාවේ සභාපති  තනතුර ගෞවරනීය තනතුරක් වන අතර, එම පත්කිරීම සිදු කරනු ලබන්නේ, පාර්ලිමේන්තු සභාව විසින්. එහි කාලය වසර 3 ක්.  

    ජන සභා ගොඩනැගීමේ වැඩපිළිබඳව හිටපු කථානායක කරු ජයසූරිය මහතා සහ  ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී  වික්ටර් අයිවන් මහතා සවීස්තරාත්මකව අමාත්‍ය මණ්ඩලය දැනුවත්  කර තිබෙනවා. 

    Latest News