ශ්‍රී ලංකාව හදිසි ණය සහන ලැබිය යුතු රටවල් 54 න් එකක් - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන

ඔක් 11, 2022

    ශ්‍රී ලංකාව හදිසි ණය සහන ලැබිය යුතු රටවල් 54 න් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නම් කරනු ලැබ තිබෙනවා. 

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දෙන අවදානම ඉහළ යමින් පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානි ඇචිම් ස්ටෙයිනර් පවසන්නේ.එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වර්තමාන ගෝලීය අවදානම් සහගත තත්වය පිළිබඳ නව වාර්තාවක් එළිදැක්වූවා. 

    එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ටියුනීසියාව, චැඩ් රාජ්‍යය හා සැම්බියාව යන රටවල් ඉතා බරපතල අවදානමකට මුහුණපා සිටින බවයි.  එම රටවල් ගොදුරුවී සිටින ණය අර්බුදය අවදානම් තත්වයකට හැරෙමින් පවතින බවත්, එය නොසළකා හැරීම ඉතා නරක ප්‍රතිඵල ගෙනදෙන්නක් බවත්, වාර්තාවේ සඳහන් වනවා. 

    හදිසි ණය සහන නොලැබුනහොත් මෙම රටවල් පනස්හතරේ දිළිඳුකම ඉහළ යන බවත්, ගෝලීය දේශගුණික අවදානමට මුහුණ දීමට අවශ්‍ය ආයෝජන නොමැති වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කරනවා.  මෙම වාර්තාව එළිදක්වනු ලැබුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ වාර්ෂික සමුළු හා ජී-20 කණ්ඩායමේ රටවල මුදල් අමාත්‍ය සමුළුව හා සමගාමීවයි.  

    අදාළ රටවල් 54 න් 46 ක රාජ්‍ය ණය අමෙරිකානු ඩොලර් බිලියන 782 ඉක්මවන බව 2020 සං‍ඛ්‍යාලේඛණ උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කරනවා. 

    Latest News