පණිවුඩ සබඳතාව ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සොයා ගැනේ...

ඔක් 18, 2022

    ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්‍ෂණ රාජකාරි සඳහා යෙදවා තිබියදී මාසයක පමණ කාලයක් පණිවුඩ සබඳතා ගිලිහී ගොස් තිබූ නාවික හමුදා යාත්‍රාව සොයා ගැනීමට හැකිවී තිබෙනවා. 

    ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, එම යාත්‍රාව සෙවීමේ මෙහෙයුමට යොදවා තිබූ A-521 නෞකාවට අද (18) දහවල් වන විට අදාළ යාත්‍රාව සමග යළි පණිවුඩ සබඳතා ගොඩනගා ගැනීමට හැකි වූ බවයි.  මෙම නාවික හමුදා යාත්‍රාව අතුරුදන්ව තිබුණේ, ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා සිටයි.  පසුව නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා සහ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා එක්ව දකුණු මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි යාත්‍රාව සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළා. 

    ඊට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයද ලබා ගැනුණා.  දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව යාත්‍රාව එහි එජන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව පැවති අයහපත් කාළගුණ තත්වයත් සමග එය නාවික සැතපුම් 400 ක පමණ දුරකට ගසා ගෙන ගොස් තිබෙනවා.  ඒ අනුව, ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා සිට නාවික හමුදාව සමග පණිවුඩ සබඳතා සම්පූර්ණයෙන් ගිලිහී ගොස් තිබුණා.  අනතුරුව යාත්‍රාවේ සිටි නාවිකයින් එහි කාර්මික දෝෂය යථා තත්වයට පත් කර ගැනීමෙන් අනතුරුව, ගොඩබිම දෙසට යාත්‍රා කරමින් සිටියදී ඒ-521නෞකාවට අදාළ යාත්‍රාව සමග යළි පණිවුඩ සබඳතා ගොඩනගා ගැනීමට හැකිවී තිබෙනවා. 

    නාවික හමුදාව පවසන්නේ, යාත්‍රාවේ සිටි නාවික පුද්ගලයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමෙන් ‍අනතුරුව මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බවයි.  මේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.  සබඳතා ගිලිහී ගිය නාවික හමුදා යාත්‍රාව සොයා ගැනීමට සහය වූ මෙරට පාර්ශ්වයන්ට මෙන්ම, ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රාජ්‍යයන් වෙතද ශ්‍රී ලංකා නාවික හමුදාව සිය කෘතඥතාව පළ කර සිටිනවා.      

    Latest News