මෙරට කොළ ඇපල් වගාවේ මුල් ඵලදාව ජනපතිට...(වීඩියෝ)

ඔක් 20, 2022
  • ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව අද (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

    එම්.පී. ලක්‍ෂමන් කුමාර ගොවි මහතා මෙම ඇපල් වගාවේ හිමිකරුවායි. ඔහු සිය වගාව පවත්වාගෙන යන්නේ ගල්ගමුව තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයකයි‍. ජනාධිපතිවරයා වෙත කොළ ඇපල් පිළිගැන්වීම සිදු කෙරුණේ, ජනාධිපති කාර්යාලයේදී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා, තමන් ඉදිරියේදී එම වගා බිම දැක බලා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළා. ලක්ෂ්මන් කුමාර මහතා කියා සිටියේ, ඇපල් බීජ මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවයි.

    අක්කර දෙකක සරු ඵලදාවක් මේ වන විටත් ලැබී ඇති බවද ඔහු සඳහන් කළා. වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත්, මෙරට තුළ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් එම බීජ නිපදවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

    Latest News