"ඉටුකම" කොවිඩ් 19 අරමුදල වසා දැමේ...

ඔක් 20, 2022

    "ඉටුකම" කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    එම අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා පවසන්නේ, නිල බැංකු ගිණුම ඉකුත් 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවයි. කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ 85737373 යන අංකයෙන් මෙම නිල බැංකු ගිණුම පවත්වාගෙන යනු ලැබුවා. ඉකුත් 18 වැනිදා සිට එය ක්‍රියාත්මක නොවන බැවින් ඊට මුදල් බැර නොකරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා. එම ගිණූමට බැර කිරීම සඳහා චෙක්පත් හා මුදල් තවදුරටත් ජනාධිපති කාර් යාලය වෙත යොමු නොකරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් 19 වසංගත අවස්ථාවේ දිවයින තුළ ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍ය අරක්ෂණ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා ‍පරිත්‍යාගශීලී ජනතාව ලබාදුන් දායකත්වය එම අරමුදලේ ලේකම්වරයා ඇගයීමට ලක්කළා.

    කොවිඩ් අරමුදල සඳහා රුපියල් දෙසීය විසි කෝටි හැත්තෑ එක් ලක්ෂ 64,785.58ක් පරිත්‍යාගශීලීන්ගෙන් ගිණුමට ලැබී තිබෙනවා. පීසීආර් පරීක්ෂණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීම, ජාතික එන්නත්කරණ වැඩසටහන, දැඩි සත්කාර ඒකක සඳහා ඇඳන් මිලදී ගැනීම සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 199 කෝටි හැත්තෑපන් ලක්ෂ හැට නම දහස් 456.56ක් අරමුදලෙන් වැය කෙරුණා. ඔක්තෝබර් 18 වන විට අරමුදලේ ඉතිරි මුදල් ප්‍රමාණය රුපියල් 21 කෝටි 68 ලක්ෂ 77,431.5ක්. එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා පුරවැසියන්ට ජනාධිපති අරමුදල මගින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදුකෙරෙනවා.

    Latest News