තම රාජ්‍යතාන්ත්‍රික දේශපාලන කටයුතුවලට පල්ලේගම සිරිනිවාස හිමියන්ගෙන් හිමි වූ මඟ පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බව, ජනපති පවසයි...

ඔක් 22, 2022

    පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් තම රාජ්‍යතාන්ත්‍රික දේශපාලනික කටයුතු සඳහා ලෙන්ගතුව ලබාදුන් අවවාද අනුශාසනා සහ කළ මග පෙන්වීම් මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    උන්වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් ‍ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ශ්‍රී මහා බෝධි සංස්කෘතියේ චීර පැවැත්මෙහි අවිච්ඡින්න උරුමය තහවුරු කිරීම උදෙසා කරන ලද කැපවීම සදානුස්මරණීය වන බවයි.  අපවත්වී වදාළ  පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් තත්කාලීන සමාජ අවකාශයන් හා නූතන ප්‍රවණතාවයන්ට සවිඥානික  වෙමින් පෞරණිකත්වය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කළ නායක ස්වාමීන්වහන්සේ නමක්.

    උන්වහන්සේ සමාජ දේශපාලනික ප්‍රවාහයන් සමග නොගැටී තම පැවිදි ප්‍රතිරූපය රැක ගනිමින්  ශ්‍රී මහා බෝධීන්වහන්සේ ප්‍රධාන අටමස්ථානයේ ගෞරව සම්ප්‍රදාය තහවුරු කිරීමට ක්‍රියා කළා. එමෙන්ම මහා විහාර සඟ සිරිත සුරක්ෂිත කිරිමට ද නායක හිමිපාණන් වහන්සේ මූලික වුණා.  ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රධාන අටමස්ථානයේ පැවැත්ම පිණිස බෝමළුව සංඝ පරම්පරාවේ ශිෂ්‍යවරයන් වහන්සේගේ ශාසනික වත්පිළිවෙත් චාරිත්‍ර සහ සම්ප්‍රදායන්ද ආරාමික හා නූතන අධ්‍යාපන පරිචයන්ද ලබා දීමේදී උන්වහන්සේගෙන් ඉටු වූ සේවය වැදගත් මෙහෙවරක්.

    ශ්‍රී ලාංකික බෞද්ධ උරුමයේ මූල ශුද්ධ පූජා භුමියේ නූතන ආරක්ෂකයා ලෙස උන්වහන්සේ විසින් කරන ලද ප්‍රශස්ත කැපවීම ගෞරවයෙන් සිහිපත් කරන බව ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් කියා සිටිනවා.  2002 වසරේදී තමා අගමැති ලෙස කටයුතු කරන  සම‍යේ ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දෙවන රන් වැට ස්ථාපිත කිරිම ද පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ප්‍රධානත්‍වයෙන් සිදු කිරිමට හැකි වීම ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කරනවා.

    උන්වහන්සේ උතුරු මැද පළාතේ දුගි ජනතාව උසස් ජීවන තත්වයකට නංවාලීමේ සුභ සාධන කටයුතුවල ද නියැලුණු නායක ස්වාමීන්වහන්සේ නමක්. වන අතර, ශාසනික හා සමාජ සේවා රැසකට දායක වු පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අපවත්වීමෙන් තමා සාතිශ සංවේගයට පත්ව සිටින බව ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් සඳහන් කරනවා.

     

    Latest News