ඒ අනුව වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට පමුණුවා සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නා.
විජිත් මළල්ගොඩ සහ එස්. තුරෛ රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ලැබුවා.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගැනීම නීතියට පටහැනි බව සඳහන් කළා.
"ස්වාමීනී... මෙම පෙත්සම්කරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැදවුම් නියෝගයක් නිකුත් කරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කෙලින්ම ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ යුත්තේ පොලිස්පතිවරයා හරහා. එහෙත් මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයා මගහැර මේ ආකාරයෙන් රැදවූම් නියෝගයක් ඉල්ලා සිටිම ගැටළු සහගතයි" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රදවා ගත් පසුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම වැනි සිද්ධීන්වලට සම්බන්ධ දැයි පරීක්ෂණ සිදු කරන බව පොලිසිය විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දුන්නා.
අමරකීර්ති අතුකෝරල මරා දැමීම, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම වැනි සිද්ධීන්වලට අදාල නඩු මේ වනවිට අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර එම නඩුවල මෙම පෙත්සම්කරු, සැකකරු ලෙස නම් කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම නඩු කටයුතු සියල්ල පවත්වාගෙන යන්නේ සාමාන්‍ය නීතිය යටතේ බවත් සදහන් කළා.
මෙහිදි විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විවෘත අධිකරණයේ සදහන් කළේ යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසුව ඔහු විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වී තිබේ දැයි සොයා බැලීම ගැටළු සහගත බවයි.
මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවන් කරුණු පැහැදිලි කළ යුතු බවත් විනිසුරු මලල්ගොඩ මහතා විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව
තෙන්නකෝන් මහතාට නියම කළා.
ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඉකුත් අගෝස්තු මස 18 වනදා පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.
මෙම පෙත්සම්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට බලය තිබෙන බවත් ඔහු කියා සිටියා.
මෙහිදී විනිසුරු එස්. තුරෛ රාජා මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගෙන තිබෙන ආකාරය ගැන සොයා බැලිය යුතු බව සඳහන් කළා.
"මෙහි එක් උසස් නිලධාරියෙකු දෙපාර්තමේන්තු ප්‍රධානියා මග හැර ගොස් ආරක්ෂක ලේකම්ගෙන් රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා. මේක ධූරාවලියට පිටුපෑමක්. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කියන්නේ තවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පමණයි. ඔහු ත්‍රස්ත මර්ධන ඒකකයේ ප්‍රධානියා නොවෙයි. එසේ නම් ඔහු පොලිස්පති මග හැර කෙලින්ම ආරක්ෂක ලේකම් ගෙන් රැදවුම් නියෝග ඉල්ලා සිටින්නේ කෙසේද? නිසි පටිපාටියට අනුව කටයුතු කරනවා නම් මෙවැන්නක් සිදු වන්නේ කොහොමද?. මෙවැනි ක්‍රියා පිළිබඳව නීතිපතිවරයා සොයා බැලිය යුතුයි. අධීක්ෂණය කළ යුතුයි. " යනුවෙන් විනිසුරු තුරෛ රාජා මහතා සදහන් කළා.
විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කරුණු දක්වමින් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර ඇතැයි සිහිපත් කළා.
වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත්තේ නම් එම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් ප්‍රශ්න කළ විනිසුරු මලල්ගොඩ මහතා එසේ නොකොට ඔහු රදවා ගැනීම තුළින් වග උත්තරකරුවන් නීතිය අභිබවා ගොස් කටයුතු කර ඇති ආකාරයක් පෙනී යන බව සඳහන් කළා.
පුද්ගලයෙකු රදවා ගැනීම සදහා සාධාරණ කරුණු තිබිය යුතු යැයි පෙන්වා දුන් විනිසුරු මලල්ගොඩ මහතා එසේ නොමැතිව රැදවුම් නියෝගයක් ලබා ගන්නා ලෙස නිර්දේශ කිරීම පවා යුක්ති සහගත නොමැති බවත් සඳහන් කළා
යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රදවා තබා විමර්ශන කර අවසානයේදි කිසිවක් නොමැති බව පවසමින් නිදහස් කළොත් ඔහුට සිදුවු අයුක්තිය වෙනුවෙන් වග කියන්නේ කවුදැයි විනිසුරු තුරෛ රාජා යලි ප්‍රශ්න කළා.
"රැදවුම් නියෝගයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක ඇමතිවරයා වෙත සාධාරණ කරුණු ඉදිරිපත් කළ යුතුයි. එහෙත් මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් පොලීසිය ආරක්ෂක ඇමතිවරයා වෙත එවැනි නිශ්චිත කරුණු ඉදිරිපත් කිරිමක් සිදු කර නෑ. මෙවැනි තත්ත්වයක් යටතේ පුද්ගලයෙකුගේ නිදහස සීමා කරන්නේ කොහොමද?" යනුවෙන් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසා සිටියා.
දීර්ඝ කරුණු විභාගයකින් පසුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවයි.
අනතුරුව පෙත්සම යළි ජනවාරි මස 31 වනදා කැඳවීමට ද නියම වුණා.