ජාතික අලුත් සහල් මංගල්‍යය

අප්‍රේ 02, 2023

    ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වුණා.

    සාම්ප්‍රදායිකව මාස්කන්නයේ නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීම මෙහිදී සිදුකෙ‍රෙනවා.


    කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ජාතික අලුත් සහල් මංගල්‍ය මෙවර සංවිධාන කළේ, 56 වැනි වරටයි. ඒ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්. අලුත් සහල් මංගල්‍ය රජ සමයේ සිට පැවත එන පුරාණ චාරිත්‍රයක් ලෙස සැලකෙනවා.

    කලට වැසි ලැබී, කෙත්වතු සාර වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ප්‍රාර්ථනා කිරීම සහ රටට ජාතියට සෙත් පැතීම ද මෙහි තවත් ප්‍රධාන අරමුණක්.

    අලුත් සහල් මංගල්‍යට එක්වූ ජනාධිපතිතුමා පළමුවෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගත්තා. අනුරාධපුර සිංහ කණුව අසල සිට පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැලි මළුවට ගෙවැදුණා.

    අටමස්ථානාධිපති පූජ්ය. පල්ලේගම හේමරතන හිමියන් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළා. සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන එන ලද අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම සිදුකෙරුණේ ඉන් අනතුරුවයි. ඒ, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යෙයේ. ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා.

    ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුනද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා. ජනාධිපතිතුමා‍ගේ ‍වයසට සමාන කරලින් පිරි වී කරල් මිටියක් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වන ලද්දේ, පාරම්පරික වී ගොවි ජනතාව සුරැකීමේ සංවිධානයේ සභාපති චින්තන විලේගොඩ මහතා විසින්.

    පළාත් 09ම ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශ වලට ආවේණික වූ බීජ වී වර්ග ‍‍ගොවීන් වෙත බෙදාදීමද වැඩසටහනට ඇතුළත්. 56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය සමරු කලාපයේ ඩිජිටල් මුද්‍රණයද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News