“රට වෙනුවෙන් – එකට සිටිමු” පුත්තලමේ සමාප්තිය අද

මාර් 22, 2019

    “රට වෙනුවෙන් – එකට සිටිමු” පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පුත්තලම ශක්තී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්පත් කර දීම ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි.

    එහි පළමු දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා 18 වනදා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හා ග්‍රාම නිලධාරි වසම් 332ම ආවරණ කරමින් ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු, රැකියා ගැටලු ආදි ගැටලු රැසකට විසඳුම් ලබාදීම ඇතුළු මහජන සේවාවන් රැසක් එහිදී ක්‍රියාත්මක කෙරිණි.

    එමෙන්ම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක දී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන්, පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක විය.

    දීර්ඝ කාලයක් පුරා මහජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් මහජන අවශ්‍යතා ඉටුකෙරෙන “රට වෙනුවෙන් – එකට සිටිමු” වැඩසටහන ඉදිරියේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ අතර අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පුත්තලම දිස්ත්‍රික් සමාප්ති උත්සවයට සමගාමීව පුත්තලම නව නගර සභා ක්‍රිඩාංගණය විවෘත කිරීම, නව නගර ශාලාව විවෘත කිරීම සහ පුත්තලම දිස්ත්‍රික් Smart sri lanka පරිගණක ඒකකය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ.

    Latest News