උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

අප්‍රේ 21, 2023

    අ.පො.ස (උසස් පෙළ) දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ කළ බව විභාග දෙපාර්ත‍මේන්තුව පවසනවා.

    ඒ අනුව විෂයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකුණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.  විභාග කොමසාරිස් ජනරාල් එච් ජේ එම් සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ හින්දු හා ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, බරත නැටුම්, පෙරදිග, කර්ණාටක සහ බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව මෙන්ම හින්දි යන විෂයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි‍. යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථානවලදී එම කටයුතු සිදුවන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

    සිංහල සහ ඉංග්‍රීසී මාධ්‍ය ඇතුළු අනිකුත් විෂයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට ප්‍රමාණවත් පරිදි අයදුම්පත් ලැබී ඇති බවද වාර්තා වනවා. එම විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News