Espalier System එකට අඹ වැල් හා පේර වැල්

අගෝ 08, 2023

    මෙතෙක් පැවැති අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව Espalier System කෘෂි තාක්ෂණය හා UHDP -Ultra High Density Plantation හෙවත් අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් පියවර ගෙන තිබෙනවා.

    මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානය ( A Park- Agricultural park) තුළ සාර්ථක වී තිබේ. ගොවීහු විශාල පිරිසක් දැනට මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඹ හා පේර වගාව ආරම්භ කර ඇත.

    Espalier System කෘෂි තාක්ෂණය අඹ හා පේර ගස් වෙනුවට ඒවා වැළක් වශයෙන් පුහුණු කිරීම හා කප්පාදු සිදු කිරීමේ තාක්ෂණයයි.

    UHDP -Ultra High Density Plantation ක්‍රමය යනු අඩු බිම් කොටසක් තුළ වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීමයි. සාම්ප්‍රදායික අඹ හා පේර වගාව තුළ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළ ද මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකියි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා වෑවල UHDP -Ultra High Density Plantation ක්‍රමය හා Espalier System යටතේ වගා කර ඇති වෑවල අඹ හා පේර වගාව නිරීක්ෂණය කළේය.

    එහි දී මෙම වගා ක්‍රමය මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන Dr. Jullien Welz මහතා සහ කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා සමග ද එම නව කෘෂි තාක්ෂණය පිළිබඳව සාකච්ඡා කළේය.

    අඩු බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම මෙන්ම තරුණ ප්‍රජාව මෙම වගා ක්‍රමය සඳහා ආකර්ශණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මේ වනවිට දඹුල්ල වෑවල ප්‍රදේශයේ අක්කර 425ක ගොවීහු 496ක් සාර්ථකව මෙම ක්‍රමය යටතේ අඹ වගා කර ඇති අතර අක්කර 400ක ගොවීහු 350ක් පේර වගා කර තිබෙනවා.

    කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, උපදෙස් හා වගා උපකරණ ද සපයනවා.
    මේ යටතේ එක් ගොවියෙකුට අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 30- 50 දක්වා මුදලක් එක් වාරයකට ඉපයීමට හැකියාව ලැබි ඇතැයි ද කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ නිළධාරීන් පවසනවා.

    Latest News