මගියා අතරමං කරන දුම්රිය සේවය

ඔක් 05, 2023

    ඊයේ සිට ක්‍රියාත්මක දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

    අප වාර්තාකරුවන් සඳහන් කළේ, බොහෝ ස්ථානවලට පවතින අධික වැසි සමග දුම්රිය වර්ජනයක් ද ක්‍රියාත්මක වීමෙන්, ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.
    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් දුම්රිය වාර 8ක් පමණ අවලංගු වී ඇති ආකරය දැක ගත හැකි වුණා.
    එම නිසා මුහුදු බඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා කාර්යාල සේවකයින් මෙන්ම, අනෙක් මගී ජනතාව ද දැඩි අපහසුතාවකට පත්ව සිටි බව, අප වාර්තාකරු සඳහන් කළා.
    අද ‍පෙරවරුවේ දුම්රිය බලාපොරොත්තුවෙන් පැමිණි බොහෝ පාසල් දරුවන් මෙන්ම, අනෙකුත් පිරිස් ද, ආපසු හැරී යන ආකාරය ද, දැක ගත හැකි වුණා.

    දකුණු කළුතර දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා. මේ අතර, දුම්රිය නි‍යෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, එන්. ජේ. ඉදිපොලගේ මහතා කියා සිටියේ, අද උදෑසන දුම්රිය දුර ගමන් සේවා ක්‍රියාත්මක කෙරුණු බවයි.
    කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය 6 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය 7 ක්, හලාවත මාර්ගයේ දුම්රිය 6 ක්, ප්‍රධාන උතුරු මාර්ගයේ දුම්රිය 12 ක් සහ ඊට අමතරව තවත් දුම්රිය කිහිපයක් යෙදවීමට පියවර ගත් බව, ඔහු සඳහන් කළා.
    ඊ‍යේ සවස ධාවනය කෙරුණු දුම්රිය, අද උදෑසන ද ධාවනය කෙරුණු බව, ඔහු කියා සිටියා.

    Latest News