මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල නිරත නිලධාරින්ගේ ජීවිතාරක්‍ෂාවට නව වැඩපිළිවෙළක්;ජනපති

අප්‍රේ 03, 2019

    මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ මෙහෙයුම්වල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ නිරතව සිටින නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය වැටලීම්වල සහ මෙහෙයුම්වල නිරත නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ජනපති ප්‍රශංසා සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි. මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් සිටින යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවන්හි සහ රාජ්‍ය නිලධාරින්ගේ සේවය අගය කරමින් ඔවුන් වෙත ජනපති ප්‍රශංසා සම්මාන පිළිගැන්වීම මෙහි දී සිදු කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටට පැමිණෙන විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සහ එම වැටලීම්වලට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ කඩිනමින් මෙරට අදාළ අංශ වෙත ලබාදීමට තමා මේ වන විට කටයුතු සූදානම් කර තිබෙන බවයි. මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව ලොව වෙනත් රටවල් භාවිත කරන කිසිදු තාක්ෂණික උපකරණයක් නොමැතිව එම මෙහෙයුම්වල නිරතව සිටින නිලධාරින්ගේ විශිෂ්ට කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලුදෙනා වෙනුවෙන් ජාතියේ ගෞරවය පිරිනමන බව ද ප්‍රකාශ කළේය.

    එමෙන්ම මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් අද රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව තුළ ද දැඩි උනන්දුවක් ඇතිව තිබෙන අතර, ඔවුන් සියලු දෙනාගේ සහය ද නොඅඩුව එම වැඩපිළිවෙළට ලැබෙමින් පවතින බවයි. රටේ පොදු ජනතාව ද මත්ද්‍රව්‍ය විරෝධි සටන සමග අත්වැල් බැඳ ගැනීම එය සාර්ථක අවසානයක් කරා ළගාවිමේ සුබ පෙර නිමිත්තක් බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු අංශවල සහයෝගයෙන් එම සටන සාර්ථකත්වය කරා ගමන් කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

    කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News