නවක වදය වැළැක්වීමට උපදෙස් මාලාවක් නීතිපති අධිකරණයට දැනුම් දෙයි

සැප් 26, 2024
    රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
    රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2020 වසරේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධියකින් පීඩාවට පත් පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්මරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉදිරියේ කැඳ වන ලදී.
    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශය මාලාවක් සකස් කර ඇති බව දැනුම් දුන්නාය.
    මෙහිදී අගවිනිසුරුවරයා සඳහන් කළේ එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්ව විද්‍යාල වෙත යොමු කොට සංශෝධන යෝජනාවේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසයි.
    එසේ සකස් කරන අවසන් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අග විනිසුරුවරයා නියෝග කළේය.
    පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඇති වූ නවක වද සිද්ධියකදී බැකෝ ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොලයට බරපතළ තුවාල සිදු වූ බවයි.
    මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවත් මේ දක්වා පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියේය.
    මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විශ්ව විද්‍යාල තුල සිදුවන නවක වද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
    මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ එහි උපකුලපතිවරයා, කොළඹ, කැලණිය ඇතුළු විශ්ව විශ්වවිද්‍යාල දහසයක්, පොලිස්පතිවරයා,නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News