වතු පාසල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ නියෝගය දීර්ඝ කෙරේ

ඔක් 21, 2024
    ඉකුත් රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන ජනවාරි මස 27 වනදා දක්වා තවදුරටත් දිර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

    අදාල පත් කිරීම් අභියෝගයට ලක් කරමින් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිනීෂා මුසම්මිල් නමැතිත්තිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

    මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් මහතා හමුවේ කැඳවනු ලැබුවා.
    පෙත්සම්කාරිය කියා සිටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ඉකුත් ජූනි 14 වනදා වතු පාසල් සඳහා උප ගුරුවරු බදවා ගැනීමේ සඳහා තරග විභාගයක් පැවැත්වෙන බවත් ඒ සඳහා පෙනී සිටීමට සුදුසු අයදුම්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවන බවත් සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.
    තමන් වෘත්තියෙන් ස්වේච්ඡා ගුරුවරියක් වන අතර ඊට අයදුම් කළ බවත් ලංකා ගුරු සේවයේ බදවා ගැනීමේ පටිපාටියට පටහැනි ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කාරිය චෝදනා කළා.
    ඊට අමතරව බඳවා ගනු ලබන ගුරුවරුන් කුමන පාසැල්වලට අනුයුක්ත කරන්නේදැයි අදාළ ගැසට් නිවේදනයේ පැහැදිලිව දක්වා නොමැති බවත් පෙත්සම්කාරිය සඳහන් කර සිටියා.
    මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලයක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
    #SLRC #RupavahiniNews #Rupavahini
    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2024 15:47

    Latest News