ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ජනපති පොදු සමාව යටතේ නිදහස

මැයි 23, 2019

    වසර 6ක සිරදඬුවමක් විඳින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටට වැඩම කර තිබේ.

    ජනාධිපතිතුමා විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමේ ලිපිය අද (23) අධිකරණ අමාත්‍යාංශයට යොමු කරනු ලැබිණ. එම ලිපිය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්.තෙන්නකෝන් මහතාට අද පස්වරුවේ බාරදී ඇති අතර, ඒ අනුව පුජ්‍ය ඥාණසාර හිමියන් නිදහස් කෙරිණ. 

    අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය. එම චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබුවේ ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.

    නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

    එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවයි. 

    ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බෞද්ධ භික්ෂූන් මෙන්ම දේශපාලනඥයන් සහ සංවිධාන කිහිපයක් අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

    මේ අතර සන්ධ්‍යා එක්නැළිගොඩට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කෙරුණ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා දෙකකට අදාළව මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය 2018 වසරේ ජුනි 14 වෙනිදා තීන්දු කළේය.

    ජනාධිපති පොදු සමාව යටතේ මේ සියලුම චෝදනා වලින් නිදහස් කර කර ඇති බව වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 18:23

    Latest News