ප්‍රදේශ කිහිපයකින් නීති විරෝධී භාණ්ඩ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

මැයි 23, 2019

    ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී භාණ්ඩ රැසක් සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නිට්ටඹුව, තිහාරිය හා පන්නල, බම්මන්න යන ප්‍රදේශවල අද සෝදිසි මෙහෙයුම් සිදුකෙරිණ. යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය අද නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී 14 දෙනෙකු අත්අඩංගුවට ‍ගෙන තිබේ. ඔවුන් වැඩි දුර පරීක්‍ෂණ සඳහා නිට්ටඹුව පොලිසියට බාර දී තිබෙන අතර, සැකකරුවන් අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද වන බව සඳහන්වේ.

    පන්නල, බම්මන්න ප්‍රදේශයේ අද කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු භාණ්ඩ රැසක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කඩු දෙකක්, විදෙස් ගමන් බලපත්‍ර 15ක්, ජංගම දුරකථන 10ක්, ඇමෝනියා කිලෝ 25ක් බැගින් වූ පාර්සල් 25ක් ද මේ අතර වේ. මෙම භාණ්ඩ සොයාගත් නිවසේ තිබී මත්කුඩු විශේෂයක් ද හමුවූ බව වාර්තාවේ.

    බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මුස්ලිම් තරුණයා ජූනි 6 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. මෙම තරුණයා සතුව තිබී පාර්ලිමේන්තු අවසර පත්‍ර, ටී-56 ජීව උණ්ඩ 2ක්, සිම්කාඩ්පත් 13ක්, බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    මුහුණු ආවරණ සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් පාසල්වලට පැමිණෙන ඇතැම් පුද්ගලයන් නිසා ගැටලු කිහිපයක් උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙය නිරාකරණය කිරීම සඳහා පාසල් ප්‍රධානීන් වෙත විශේෂ ලිපියක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. ගැටලුවලට විසඳුම් ලබාගැනීමමෙම ලිපියේ අරමුණයි.

    Latest News