අර්බුද මැද අපනයන ආදායමේ ඉහළ යාමක්

මැයි 23, 2019

    ශ්‍රී ලංකාව මෙතෙක් ඉපැයූ ඉහළම අපනයන ආදායම ඉකුත් වසරේදී වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ, අපනයන ආදායමේ ක්‍රමික වර්ධනයක් සිදුව ඇති බවයි. ශ්‍රී ලංකාවට ආර්ථික දියුණුවක් ළඟා කරගැනීම සඳහා අපනයන නිෂ්පාදන ඉහළ නංවා ආනයන වියදම අඩු කිරීම කළ යුතු වුවත්, අඛණ්ඩව සිදුවුයේ ආනයන වියදම ඉහළ යාමයි. මේ අතර, ඉකුත් වසරේදී සමස්ත අපනයන වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 11,889.6ක් බවට පත්ව තිබේ. 2017 දී එය ඩොලර් මිලියන 11,360.4ක්.

    ඒ අනුව 2017ට සාපේක්‍ෂව 2018 වසරේ අත්කර ගෙන ඇති අපනයන ආදායම් වර්ධනය 4.7%ක් වේ. ඉන් කාර්මික අපනයන 8.4% දක්වා වර්ධනය වී ඇති බව, මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන්වේ. කෘෂිකාර්මික අපනයන යම් අඩුවීමක් පෙන්නුම් කළ ද, ඛනිජ සහ වෙනත් අපනයන 1.6%කින් ඉහළ ගිහින්. 2017ට සාපේක්‍ෂව ඛනිජ තෙල් නිෂ්පාදිත 43.2%කින් සහ රෙදිපිළි හා ඇඟලුම් වෙළෙඳාම 5.7%කින් වර්ධනය වී තිබේ.

    මීට අමතරව, ආහාර සහ පාන වර්ග, රබර් නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම, යන්ත්‍ර සූත්‍ර ආදී කාර්මික අපනයනවල ආදායම් ද ඉහළ ගොස් තිබේ. අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන්නේ, යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් පහසුකම ශ්‍රී ලංකාවට යළි හිමිවීමයි. වර්තමානයේ ක්‍රියාත්මක හිතකර විදේශ ප්‍රතිපත්තිය සහ ආයතනික සහය අපනයන සාර්ථකවීමට තවත් හේතුවක්. ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලි විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් ගෙන යාමද, අපනයන ආර්ථිකය කෙරෙහි බලපා තිබේ.

    Latest News