ජාතික රූපවාහිනිය නිර්මාණය කළ “ලෝක කුසලාන තේමා ගීතය“ එළි දකී

මැයි 26, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජාතික රූපවාහිනිය නිර්මාණය කළ විශේෂ තේමා ගීතය අද එළිදැක්විණ.

    විශේෂ වෙබ් අඩවියක් සහ ජංගම දුරකතන යෙදුමක් හඳුන්වාදීම ද සිදුවිය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇත්තේ, තවත් දින 4ක් පමණි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන හිමිකරු වන්නේ ජාතික රූපවාහිනියයි. නිල ගීතය, වෙබ් අඩවිය සහ ජංගම දුරකතන යෙදුම එළිදැක්වුණේ අද උදේ පැවති ඉරිදා ආයුබෝවන් වැඩසටහනේ දී. 1996 වසරේ ලෝක ක්‍රිකට් කිරුළ දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අවසන් තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා සහ තරගාවලියේ වීරයා සම්මානය දිනූ සනත් ජයසුරිය ද වැඩසටහනට සහභාගි වූහ.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න, ක්‍රීඩා අංශයේ අධ්‍යක්‍ෂ පාලිත සෙනරත් යාපා යන මහත්ම, මහත්මීන් ද එම අවස්ථාවට එක්වූහ. ජංගම දුරකතන යෙදුම නිල ව ශයෙන් විවෘත කෙරුණේ, සංස්ථා සභාපතිවරිය අතින්. නිල ගීතය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා අතින් එළිදැක්විණ.

    එහි පද රචනය කැළුම් ශ්‍රීමාල්ගෙනි. සුරේශ් මාලියද්දගේ සංගීතයෙන් නිර්මාණය වූ තේමා ගීතයට ගායනයෙන් දායකත්වය ලබා දෙන්නේ උමාරියා සිංහවංශ, සමන් ලෙනින් සහ සංඛ දිනෙත්. රූප රචනය ජාතික රූපවාහිනියේ නිෂ්පාදක රවීන්ද්‍ර මුණසිංහගෙනි.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 30 වැනිදා සිට ජුලි මස 14 වැනිදා දක්වා රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News