“ගජා“ සුළි කුණාටුව වයඹට

නොවැ 11, 2018

    ගජා“ සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී බටහිර දෙසට බරව වයඹට ගමන් කරනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    එබැවින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරත ප්‍රජාවට සැලකිල්ලෙන් පසුවන්නැයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. ගිනිකොන දිග සහ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

    ඇතැම් මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවිය හැකියි. වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව, එම දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් පනස් දහසකට පමණ බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

    පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ කොටසක් සමඟ මාර්ගය ජලයෙන් යටව තිබේ. මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාම මීට හේතුවයි. යුද හමුදා ආපදා ඒකකයෙන් බෝට්ටු යොදා අත්‍යවශ්‍ය සේවා සිදුකරයි. ගංවතුර හේතුවෙන් පුදබිමට පැමිණෙන වන අලි කොටුවී සිටිනු දැකගත හැකියි.

    අධික වර්ෂාවත් සමඟ වැව් පිටාර ගැලීමෙන් පූනෑව, සියඹලාගස්වැව මාර්ගය ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගමනා-ගමනයට බාධා එල්ලවී ඇති බව, අප වාර්තාකරු පවසයි. මේ අතර යාපනය-නුවර ඒ-9 මාර්ගයේ වව්නියාව ප්‍රදේශයේ දැඩි මීදුම් සහිත තත්වයක් ද දැකගත හැකියි. රිය පැදවීමේදී අවධානයෙන් සිටින ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

     

     

     

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 09:46

    Latest News