තව්හිද් ජමාද් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වූ 6ක් ඉන්දියාවේ දී මාට්ටු

ජූනි 13, 2019

    ත්‍රස්තවාදී සාමාජික සහරාන් සමඟ සබඳතා පැවැත්වූ ඉන්දියානුවන් 6 දෙනෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

    අයි.එස්. කල්ලි ප්‍රබලයෙකු වන මොහොමඩ් අසාරුඩීන් නමැත්තා ද ඒ අතර වේ. ඊයේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට පත් මොහොමඩ් අසාරුඩීන් නමැත්තා සමාජ මාධ්‍ය ඔස්සේ සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇතැයි, බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. තමිල්නාඩුවේ අයි.එස්. ත්‍රස්ත විරෝධි මෙහෙයුම් අද පිට-පිට දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. එය සිදු කරනු ලබන්නේ, සටන්කාමී කල්ලි පිළිබඳ මෙහෙයුම් හා බුද්ධි ඒකකය වන ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින්.

    අද දිනයේ සැකකටයුතු ස්ථාන තුනක් වටලනු ලැබූ බව, මෙහෙයුම් අවසානයේ ජාතික විමර්ශන ඒජන්සිය මාධ්‍යයට දැනුම් දුන්නා. ඊයේ දිනයේ වටලනු ලැබූ ස්ථාන සංඛ්‍යාව 7ක්. මෙහෙයුම්වලදී විද්‍යුත් උපකරණ රැසක් හා උණ්ඩ තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ බවයි, පොලිස් වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම, වෛරී ප්‍රකාශන ඇතුළත් ඩී.වී.ඩී. තැටි තොගයක් ද සොයා ගෙන තිබේ. සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සමඟ සබඳතා පවත්වා ඇත්තේ, ඉන්දීය ජනප්‍රිය පෙරමුණ නමැති සංවිධානයයි. බුද්ධි මෙහෙයුම්වලදී හඳුනාගනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාතික විමර්ශන ඒජන්සිය පසුගිය මැයි මස 30 වැනිදා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා.


    සැකකරුවන්ට ඇති චෝදනාව වන්නේ, අයි.එස්. මතවාදය පතුරුවා හැරීම හා එම ත්‍රස්තවාදී කල්ලිය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමට උත්සුක වීමයි. දකුණු ආසියාව අයි.එස්. කල්ලියේ ක්‍රියාකාරකම්වලින් මුදවා ගැනීම ඉන්දීය මෙහෙයුම්වල අපේක්‍ෂාවයි. දකුණු ඉන්දියානු මුස්ලිම්වරුන් 21 දෙනෙකු 2018 වසරේ දී ඇෆ්ගනිස්ථානයට ගොස් පුහුණුව ලබා ඇතැයි හෙලි වී තිබේ. ඒ අතරින්, අෂ්ෆාක් මජීඩ් මජීඩ් නමැත්තා ඇතුලු කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයට පැමිණ කෙටි කාලයක් ගතකර යළි ඇෆ්ගනිස්ථානයට ගොස් ඇතැයි ද බුද්ධි අංශ මෙහෙයුම්වලදී හෙලිවී තිබේ.

    ඉන්දීය අයි.එස්. මතධාරීන් කිහිප දෙනෙකු සහරාන් සමඟ ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි ප්‍රදේශයට 2017 වසරේ පැමිණ ඇති බව, කලින් හෙළි වී තිබිණ. පසුගිය මස අත්අඩංගුවට ගනු ලැබූ රියාස් අබුබකර් නමැත්තා ශ්‍රී ලංකාවේ සහරාන් හෂීම් අනුගමනය කරමින් ඉන්දියාව තුළ ද ප්‍රහාර කිහිපයක් දියත් කිරීමට සැලසුම් කර සිටි බව, ජාතික විමර්ශන ඒජන්සිය කළ මෙහෙයුම්වලදී අනාවරණය වුණා.

    Latest News