ජනපති මොරගහකන්දේ ප්‍රගතිය විමසයි

නොවැ 12, 2018

    මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙති.

    ජලාශයේ ජල පිරවුම් කටයුතු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ඉකුත් ජූලි මාසයේ දී ය. පවතින වැසි සමයත් සමග එළඹෙන ජනවාරි මාසය වන විට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් පසු වර්ෂාව අඩු නියං කාලයේ වුව ද කිසිදු බාධාවකින් තොරව යල මහ කන්න වගා කිරීමට රජ රට ගොවි ජනතාවට අවස්ථාව උදා වනු ඇත.
    අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා අනතුරුව එම ශ‍්‍රවණාගාරයේ දී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට එක් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
    මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, විදුලිබල, සංචාරක කර්මාන්තය වැනි අතුරු කර්මාන්ත ද මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතිය යටතේ මේ වන විට ආරම්භ වී තිබේ. ලග්ගල නව නගරයේ සංවර්ධන, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පාරිසරික කාර්මික උද්‍යානය, සුවිශේෂ පරිසර කලාප ව්‍යාපෘතිය සහ වගා ව්‍යාපෘතින්හි ප‍්‍රගතිය පිළිබඳව ද මෙහි දී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.
    මහවැලි කලාපවල ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළ අතර, කඩිනමින් එම කටයුතු අවසන් කිරීමේ අවශ්‍යතාව නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඞී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    ඉන් අනතුරුව කොළඹ, ගාලූ පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත විය.
    සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ කටයුතු කඩිනමින් ඉටුකර දෙමින් ප‍්‍රශස්ත මහජන සේවාවක් සැපයීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහි දී නිලධාරින්ට අවධාරණය කළේ ය.

    ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු ද නිරික්ෂණය කළ අතර, ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන අමුත්තන් රැදී සිටින ස්ථානයේ පහසුකම් ද නිරීක්ෂණය කළේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 18:52

    Latest News