මෙම කරුණු විමසීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් බවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ අද දිනයේ බවත් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශන ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
එහෙත් අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ පෙත්සම් වලට අදාළ කරුණු විමසීම ආරම්භ කරන බවයි.
පෙත්සම ඉදිරිපත් කර තිබූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගඊෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදුකලේය. ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් එක් අවස්ථාවක් වු පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හතර හමාර ඉක්මවා ගිය පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව කියා සිටියේය. පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව ද මෙහිදී ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුනි.
එම නිසා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත ප්රකාශනයක් බවත් එය අවලංගු කිරීමට අධිකරණයට බලයක් පවතින බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු ඉදිරිපත් කලේය. ජනාධිපති නීතිඥ මාරපන මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මේ ආකාරයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා කියා සිටියේය.
එහිදී නීතිපතිවරයා ඉල්ලා සිටියේ හෙට දිනයේ ද කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි. ඒ අනුව පෙත්සම් විභාගය අද පස්වරු 5.20 අවසන් කර හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබීමට අගවිනිරු ඇතුලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.