ශ‍්‍රී ලංකා – ටජිකිස්ථාන ජනපතිවරු හමු වෙති

ජූනි 14, 2019

    ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියේ දී ලෝකයේ සියලූ රටවල් සමග සමීපව හා මිත‍්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී ය. ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට ටජිකිස්ථානයට ගිය ජනාධිපතිතුමා සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස ටජිකිස්ථාන ජනාධිපතිවරයා සමඟ හමුවකට එක් විය.

    දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා ටජිකිස්ථාන ජනාධිපතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමට දෙරටම කැපව සිටින බැවින් විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයෝ සාකච්ඡා කළහ.  එමෙන්ම දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද සාකච්ඡා වූහ.

    2016 වසරේ දී ටජිකිස්ථාන ජනාධිපති එමොමොලි රාමොන් මහතා ශ්‍රි ලංකාවේ කළ සංචාරය පිළිබඳව ද ගෞරවයෙන් සිහිපත් කෙරිණ. එම සංචාරයේ දී දැක්වූ ආගන්තුක සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළ ටජිකිස්ථාන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව සහ ටජිකිස්ථානය අතර පවතින මිත‍්‍රත්වය ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සමඟ වඩා තහවුරු වන බවත් ඉදිරියේ දී දෙරට අතර වඩා සමීප සබඳතාවයක් ගොඩනැගෙනු ඇති බවත් කියා සිටියේය.

    මේ අතර ජනාධිපතිතුමා අද පෙරවරුවේ ටජිකිස්ථාන ජාතික කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ දුෂාන්බේ නගරයේ පිහිටි භමරුන ජල විදුලි බලාගාරය වෙතයි. භමරුන ජල විදුලි බලාගාරය ටජිකිස්ථානයේ ප‍්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන අතර අධික ශිත කාලයේ විශාල වශයෙන් පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට පමණක් නොව ගිම්හාන කාලයේ අතිරික්ත බලශක්තිය අපනයනය කිරීමට ටජිකිස්ථානයට හැකියාව ලැබී තිබේ. විදුලි බලාගාරයේ ඉදිකිරීම් සම්පූර්ණ වීමෙන් අනතුරුව ටජිකිස්ථානයේ විදේශීය ඉපැයුම් අතරේ විදුලිබල අපනයනය ප‍්‍රධාන තැනක් ගනු ඇත.

    විදුලි බලාගාරයේ කටයුතු මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර එහි කි‍ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කෙරිණි.

    අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද එම පරිශ‍්‍රයේ දී ජනාධිපතිතුමා සහ උප අගමැතිවරයා එක් විය. ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව හෙට (15) ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත‍්‍රණ ශාලාවේ ආරම්භවේ. ඊට සහභාගිවිමට ආසියාවේ රාජ්‍ය නායකයෝ රැසක් මේ වන විට දුෂාන්බේ නගරයට පැමිණ සිටි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දහවල් සමුළුව ඇමතීමට නියමිත අතර, සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් කිහිප පළක් සමඟ හමුවීම්වලට ද එක්වනු ඇත.

    slpresidenttujikistan1 px 9

     

    Latest News