ඇවන්ට් ගාර්ඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ පෙත්සමේ තීරණය ජූලි 26

ජූනි 14, 2019

    ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගම සම්බන්ධ නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි, ගෝඨාභය ඉල්ලූ පෙත්සම පිළිබඳ නියෝගය, ජූලි 26 ප්‍රකාශයට පත්කෙරේ.

    පසුගිය රජය සමයේ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. එම නඩුවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ජුලි මස 26 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද(14) නිවේදනය කර ඇත.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ජූලි මස 26 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ද එම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

    අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබ ඇත. මෙම ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ ද නීතිඥවරු ඊට අදාළ ලිඛිත දේශනා අධිකරණයට භාර දී තිබේ.

    ඉන් අනතුරුව ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳ නියෝගය ජූලි මස 26 වනදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය නියම කර ඇත.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 2016 වසරේ මෙම නඩුව ගොනු කර තිබේ.

    හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා යන අයද එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත. ඊට අමතරව ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් බී.එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න යන අයද මෙහි සෙසු විත්තිකරුවන් ලෙස මෙම නඩුවේ නම්කර තිබේ.

    මෙම නඩුව ගොනු කිරිම සඳහා වූ අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය එම කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව නඩුව ප්‍රතික්ෂේප කොට සියලු විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කර තිබිණි.

    එහෙත් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නඩුව විභාගයට තැබීම සඳහා දින නියම කර ඇත.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

    ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශිත නියෝග නීති විරෝධී යැයි තීන්දු කොට ඒවා බලරහිත කර තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    Latest News