කෝටි සියයේ හොරොයින් ජාවාරමේ දුරකතන වාර්තා අධිකරණයට

ජූනි 14, 2019

    රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විදේශීය ජාතිකයන් තිදෙනා ඇතුලු පස් දෙනා ලබන 26 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

    ඉකුත් ජනවාරි මස 22 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රදවා ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරුවන් පස් දෙනා සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
    ඩයිසැටමෝල් මෝෆීන් නොහොත් හෙරොයින් කිලෝ 95 ක් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල විදුලි සෝපානය අසලදී මොවුන් අත්අඩංගුවට ගත් බවත් කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවත් නිවස සහ වාහනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 19:28

    Latest News