ඇලෝසියස් රට යන්න දුන් අවසරය අවලංගු කරන්නැයි මෝසමක්

ජූනි 19, 2019

    මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය මගින් දී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවා තිබිණ. නීතිපතිවරයා එම මෝසම තුළින් සඳහන් කර තිබෙන්නේ මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරු ලෙස නම් කර සිටින ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් නැමැත්තාට ලබන මස පළමුවනදා සිට එකොළොස් වන දා දක්වා කාලය තුළ දියණියකගේ විවාහ උත්සවයකට සහභාගිවීම සඳහා විදේශගතවීමට අධිකරණය මඟින් අවසර ලබා දී ඇති බවයි.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථිර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් තීරණයක් ගෙන ඇති බැවින් එහි සැකකරු ලෙස නම් කර සිටින මෙම ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් තැනැත්තාට විදේශගතවීම සඳහා දී ඇති අවසරය අවලංගු කරන ලෙස ද නීතිපතිවරයා සිය මෝසමෙන් ඉල්ලා තිබේ.

    එම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරි කැඳවූ අතර ඒ පිළිබඳ කරුණු දැක්වීම හෙට දින සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නීතිපතිවරයාට සහ විත්තියේ නීතිඥවරුන්ට නියෝග කර තිබේ.

    Latest News