නැඟෙනහිර සරසවියට මිලියන 6617ක සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයක්

ජූනි 20, 2019

    ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 6617 ක වියදමින් සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨ ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වේ. ශ්‍රී ලංකාව හා අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එක්ව ණය ගිවිසුමක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වන අතර කුවේට් අරමුදල යටතේ කුවේට් ඩිනාර් 10 ක මුදලක් එනම්, රුපියල් මිලියන 5000 ක මුදලක් මෙම ව්‍යෘපෘතිය වෙනුවෙන් ලබා දීමට එකඟ වී තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදමින් ඉතිරි රුපියල් මිලියන 1617 ක මුදල ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබේ.

    එම කුවේට් ඩිනාර් මිලියන 10 ක මුදලින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 2,880 ක් ද, ලී බඩු, වාහන, වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 1,740 ක් ද, ඉංජිනේරු හා උපදේශන සේවා සඳහා රුපියල් මිලියන 380 ක් ද වශයෙන් වැය කිරීමට අස්තමේන්තු කර තිබේ.

    කුවේට් අරමුදලින් ණය මුදලක් ලෙස ලැබෙන කුවේට් ඩිනාර් මිලියන 10 ට අමතරව ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය ඉතිරි මුදල්, බදු මුදල් හා පරිපාලන වියදම් ශ්‍රී ලංකා රජය විසින් මධ්‍ය කාලින අයවැය රාමුව මඟින් වෙන් කරනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ අනුව, ප්‍රාථමික සෞඛ්‍ය ආරක්‍ෂණ මධ්‍යස්ථානය, පරිපාලන ගොඩනැගිල්ල, අධ්‍යයන දෙපාර්තමේන්තු, දේශන ශාලා සහ විද්‍යාගාර ඇතුලත් ගොඩනැගිලි සංකීර්ණය, ශිෂ්‍ය මධ්‍යස්ථාන හා ආපන ශාලාව, ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ ස්වයං අධ්‍යයන මධ්‍යස්ථානය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිල නිවාස, අමුත්තන්ගේ නිවාස, නේවාසිකාගාර, දේශන ශාලා, ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරය, අභ්‍යන්තර මාර්ග හා උද්‍යාන අලංකරණය, ජල ටැංකි ඉදිකිරීම හා විදුලිය ලබාගැනීම, ප්‍රවිශ්ට මාර්ග පුළුල් කිරීම වැනි ගොඩනැඟිලි ඉදිකිරීම් හා කාර්යයන් රැසක් සිදු කිරීමට නියමිතය.

    නැඟෙනහිර පළාතේ “පිල්ලෙයාරඩි” හි විශ්වවිද්‍යාලයට අයත් අක්කර 50 ක භූමියක මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට නියමිත අතර ඉදිකිරීමට ඇති ගොඩනැඟිලි 18 ම එකවර ආරම්භ කර මාස 24 ක කාලයක් ඇතුළත අවසන් කර සිසු අයිතියට පැවරීමට කටයුතු යොදා තිබෙන බව ද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    එමෙන්ම මේ ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය හා පර්යේෂණ උපකරණ සඳහා වෙන් කර ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 1,740 ක් පමණ වේ. මේ පීඨයට අවශ්‍ය වෛද්‍ය හා පර්යේෂණ උපකරණ ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පිරිවිතර සැකසීමේ කමිටුව දැනටමත් පත් කර ඒ පිළිබඳ කටයුතු කෙරෙමින් පවතී.

    ඔස්ට්‍රියානු ණය ආධාර යටතේ රුපියල් මිලියන 450 ක පමණ වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ එම පීඨයට දැනටමත් ලබාදී ඇත. එමෙන්ම සිසුන් 600 කට පමණ නේවාසික පහසුකම් සැලසෙන නේවාසිකාගාර 2 ක් මේ භූමියේ දැනටමත් ඉදිකර සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාර දී ඇත.

    මේ ව්‍යාපෘතිය නිමකල පසු වෛද්‍ය උපාධිය සඳහා 100 ක් ද, හෙද උපාධිය සඳහා 70 ක් ද, ඖෂධවේදී උපාධිය සඳහා 20 ක් ද, මහජන සෞඛ්‍ය පිළිබඳ උපාධිය සඳහා 20 ක්ද වශයෙන් වාර්ෂිකව මෙම පීඨයට ඇතුලත් කර ගැනීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය සැලසුම් කර ඇත.

    නව වැනි ජාතික විශ්වවිද්‍යාලය වශයෙන් 1986 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය අධ්‍යයනාංශ 6 කින් සමන්විතව වර්ෂ 2004 දී පිහිටුවන ලද්දකි. මඩකළපුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මේ පීඨය වී අලෙවි මණ්ඩලයෙන් ලබාගත් තාවකාලික ගොඩනැගිලිවල ඇති වී ඇඹරුම්හල සහ වී ගබඩා සංකීර්ණය නවීකරණ කොට දැනට පවත්වාගෙන යනු ලැබේ.

    එබැවින් මේ පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් හිතකර ජීවන පරිසරයක් ගොඩනැංවීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

    එය පෙරදැරිව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු වෛද්‍ය, හෙද හා ඊට අනුශාංගික අනෙකුත් අංශවල උපාධිධාරීන් බිහිකිරීම සහතික කිරීම සඳහාත් විශ්වවිද්‍යාල සිසුන් සඳහා වැඩි ගුණාත්මකභාවයකින් යුත් අධ්‍යාපනික ක්‍රියාකාරකම් හා ජීවන තත්ත්වයන් ලබාදීමේ අරමුණ ඇතිවත් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශයයෙක් පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 08:11

    Latest News