පලාත් 03 ග්‍රාමිය වැව් 325ක් පිළිසකර කිරිමට ජනපති උපදෙස්

ජූනි 20, 2019

    උතුරු මැද, උතුර සහ වයඹ පළාතේ අබලන් ග‍්‍රාමීය වැවි 325ක් පිළිසකර කිරීමේ, වැව් ගම් පුබුදුව, වැඩසටහන කඩිනම් කර ගොවි ජනතාවට ප‍්‍රතිලාභ සලසන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල වැවි ප්‍රතිසංස්කරණය මේ අනුව සිදුවේ.

    එම වැවි ආශ‍්‍රිත ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ද මේ හා සමගාමීව ක්‍රියාත්මක වන අතර එම කටයුතුවල ප‍්‍රගතිය ද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක් විය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් මෙහෙයවන වැව් ගම් පුබුදුව දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතියේ වත්මන් ප‍්‍රගතිය සොයා බැලිමට ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

    ජාත්‍යන්තර හරිත දේශගුණික අරමුදල මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 6664ක මුල්‍ය ප‍්‍රතිපාදන සපයා තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදෙයි. ව්‍යාපෘතිය මගින් අදාළ කලාපවල වෙසෙන නිරන්තරයෙන් ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවන අඩු ආදායම්ලාභී පහළොස් ලක්ෂයක් පමණ වන ගොවි පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා අතදීම සිදු කෙරේ.

    ශ‍්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම සඳහා රුපියල් මිලියන 2450ක මුදලක් ආයෝජනය කරයි. ව්‍යාපෘතිය 2024 දී අවසන්වීමට නියමිතයි.

    Latest News