"ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත" ඉවත් කළා - අගමැති (වීඩියෝ)

ජූනි 22, 2019

    මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    මොණරාගල, වෙලේවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු විවෘත කෙරුණු අතර අංග සම්පුර්ණ පහසුකම්වලින් යුත් ක්‍රීඩා පිටිය හා හුලන්දාව හංදියේ වටරවුම ඉදිකිරීම් ද අද ආරම්භ විය. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් අනතුරුව ජන හමුව පැවැත්විණ. එහිදී දිස්ත්‍රික්කයේ ඉඩම් බලපත්‍ර නොමැති 5,000කට හිමිකම් පත්‍ර ලබාදීම අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණ. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී ප්‍රධානතම බාධකයක්ව පැවැති "ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත" පසුගිය සතියේ ඉවත් කළ බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් බියෙන් සැකෙන් තොරව දේශීය හා විදේශීය ආයෝජකයින්ට මෙරට තුළ ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි බව ප්‍රකාශ කළේය.
    මෙම පනත යටතේ පුද්ගලික ආයෝජකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හැකියාව තිබූ බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳව බියක් ආයෝජකයන් තුළ පැවැතිය බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ හේතුවෙන් ආර්ථික සංවර්ධන පරමාර්ථ ඉටු නොවූ බව අවධාරණය කළේය.

    "2015 සිට අපේ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා. මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙන බව කිව යුතුයි. සංචාරක හා කර්මාන්ත කලාප ආරම්භ කරමින් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා අප පියවර ගෙන තිබෙනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කර්මාන්ත කලාප ඉදිකිරීම සඳහා අක්කර 13,000 ක් – 14,000 ක් පමණ වෙන් කර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් ද විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. එදා කටුනායක, බියගම, සීතාවක, කොග්ගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කර්මාන්ත කලාප ඇති කළා. අපේ මීළඟ පියවර වන්නේ බියගම කර්මාන්ත කලාපය වැනි කර්මාන්ත කලාප 50 ක් ඉදිකිරීමයි. කර්මාන්ත කලාප ඉදිකර රට දියුණුව කරා ගෙන යෑමට නම් ඒ සඳහා විදේශ ආයෝජකයන්ට අවස්ථාව දිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය බදු සහන අප ලබාදී තිබෙනවා. කුමන ආකාරයේ සහන ලබාදී තිබුණත් පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට හැකියාව තිබීම සම්බන්ධව ආයෝජකයින් බියට පත්ව සිටියා. ඒ ගැන ඔවුන් අපෙන් කරුණු විමසුවා. ලොව වෙනත් රටවල මේ ආකාරයට ව්‍යාපාර අත්පත් කර නොගන්නා බව ඔවුන් පෙන්වා දුන්නා. ආයෝජකයන්ට ප්‍රධානතම බාධකයක්ව පැවැති "ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත" පසුගිය සතියේ ඉවත් කර ශ්‍රී ලාංකික හා විදේශීය ආයෝජකයින්ගේ බිය නැති කර ඔවුන්ට ආයෝජනය කිරීමේ අවස්ථාව උදා කළා." යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් ජයසූරිය, ජයන්ත කන්නන්ගර, හරේන්ද්‍ර බණ්ඩා, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පත්මකුලසූරිය යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 22:07

    Latest News