ත්‍රිකුණාමලය වරායට ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් (වීඩියෝ)

ජූනි 22, 2019

    ඓතිහාසික මහනුවර නගරය සංවර්ධනයට සහය ලබාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විශේෂ නියෝජිත පිරිසක් සමඟ ඊයේ සාකච්ජාවක් පැවැත්විය.

    එහිදී ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරයේ මෙන් පාරම්පරික උරුමය ආරක්‍ෂා වන සේ සංවර්ධනය කිරීමට අවධානය යොමු කෙරිණ. ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතෝ ඉසුම් මහතා ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්වූහ. ශ්‍රී ලංකාවට මිත්‍රශීලි සහයෝගය පුද කිරීම සඳහා සැමවිටම සූදානම් බව අවධාරණය කළ ආචාර්ය හිරෝතෝ ඉසුම් මහතා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් ලබාදෙන බව ද ප්‍රකාශ කළේය. මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය, එල්.එන්.ජී. විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලු දුම්රිය සේවය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණින.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන සැලැස්මක් සැකසීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කාර්යයන් සිදු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දරණ ප්‍රයත්නය පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එම ප්‍රයත්නය සඳහා ජපානයේ උපරිම සහයෝගය හා දායකත්වය ලබාදෙන බව ජපාන නියෝජිත පිරිස පැවසූහ. මැති-ඇමතිවරුන් පිරිසක් ද මේ සාකච්ජාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 22:05

    Latest News