ඖෂධ හා උපකරණ ගැනීමේ දී වන දූෂණ, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ප‍්‍රබල ගැටලූවක් - ජනපති (වීඩියෝ)

ජූනි 29, 2019

    ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ දී ඉන් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයට වඩා විශාල මුදලක් අක‍්‍රමිකතාවයට ලක්වීම, බටහිර වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය ග‍්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (28) පස්වරුවේ එක් වෙමිනි. මනම්පිටිය ග‍්‍රාමීය ආයුර්වේද රෝහලේ පැවති දීර්ඝ කාලීන අඩුපාඩුවක් සපුරාලමින් පිබිදෙමු පොළොන්නරුව දිසත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර තිබෙන මෙම වාට්ටු සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 165කි. ඇඳන් 28 කින් සමන්විත වාට්ටු සංකීර්ණය බාහිර රෝගී ප‍්‍රතිකාර අංශයක් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විතය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අපගේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක‍්‍රමය ඉහළ වටිනාකමකින් සමන්විත බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වටිනාකම් තවමත් යටපත් කිරීමට නොහැකි වී ඇති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 


    සමරු ඵලකය නිරාවරණය කර නව වාට්ටු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    උතුරු මැද පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමන් බන්දුලසේන, උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්, දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට ප‍්‍රතිලාභ බෙදාදීමක් ද ඊයේ (28) පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි. දහම්පාසල් සහ පෙරපාසල් සඳහා මේස පුටු ප‍්‍රදානය, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 63ක් නිවාසලාභීන් වෙත පවරාදීම, සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල වෙළෙඳමේ නිරත වෙළඳුන්ට ජංගම අළෙවි කුටි ලබාදීම, බෝට්ටු සහ ධීවර ආම්පන්න ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි. පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා සහ ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:39

    Latest News