ලිට්රෝ ගෑස් හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම ඉවතට..

ජූලි 03, 2019

    තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් සයිබර් ප්‍රහාරයක් සිදු කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 2.104ක මුදලක් (රුපියල් ලක්ෂ 3000ක් පමණ )බැංකු පරිඝණක දත්ත මගින් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව දෙවන සැකකාර ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ නැමැත්තාට දැඩි ඇප කොන්දේසි මත විදෙස් ගත වීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අවසර ලබා දුන්නේය.

    ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුලු නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දුන්නේය. රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප කර දෙකක් මත සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් ඇප වෙමින් අධිකරණයට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය ඥාති සොයුරා ඇතුලු සැකකරුවන් දෙදෙනාගේ විදෙසේ ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සැකකරු මසක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර සිටියේය.

    සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනාට සැකකරු ඉදිරිපත් කිරිමට නොහැකි වුවහොත් ඇප වූ රුපියල් ලක්ෂ 100ක මුදල අධිකරණයේ තැන්පත් කිරීමට සිදුවන බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එසේ නැත්නම් සිර දඩුවම් පමුණුවන බවට දැනුම් දුන්නේය.

    ශලීල මුණිසංහ වෛද්‍ය ප්‍රථිකාර සඳහා විදෙස් ගත වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙවතාවක් අවසර ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර මෙවර අවසර ලබා දෙන්නේ සැකකරු වෙනුවෙන් පැණවූ දැඩි ඇප කොන්දේසි නිසා බවත් සැකකරුගේ පුද්ගල නිදහස් ආරක්ෂා කළ යුතු වන නිසාවෙන් බවද කියා සිටි මහේස්ත්‍රාත්වරයා සැකකරු කැනඩා පුරවැසියකු වන හේතුවෙන් සැකකරු මෙරටට නැවත පැමිණීම තහවරු කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දුන්නේය.

    මෙරට දේශපාලකයන්ට නම් විදේශ ගත වීම වැළැක්වීමේ නියෝග ලබා දීමේ අවශ්‍යතාවයක් නැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකාර ශලීල මුණිසංහ විදෙශ පුරවැසියකු වීම හේතුවෙන් මෙම දැඩි ඇප කොන්දේසි පණවන බවත් සිද්යදියට අදාළ නඩුව නැවතත් ලබන 17 වනදා සැකකරු වෙනුවෙන් ඇප වූ විශේෂඥ වෛද්‍යවරයා ඇතුලු ඇපකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනි සිටින ලෙසටත් දැනුම් දුන්නේය.

    මේ සිද්ධිය ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධයක් නොවන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණ්‍යට දැනුම් දුන්නේය. වෙනම විමර්ශනයක් පවත්වන බවත් රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත භාර ගත කර සිටි රාජගිරියේ පදිංචි ජනක චමින්ද නම්මුනිගේ, ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ,ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ යන අයගේ ඥාති සොහොයරකු වන චූලපාල ලලින්ද්‍ර සිල්වා , බන්දුල වීරවර්ධන යන සැකකරුවන් ඇප මත මුදා හැර තිබේ.

    Last modified on බදාදා, 03 ජූලි 2019 16:01

    Latest News