ස්මාර්ට් ශ‍්‍රී ලංකා මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය ජනපති අතින් විවෘතයි (වීඩියෝ)

ජූලි 06, 2019

    තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මොනරාගල දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන ම්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) දහවල් විවෘත කෙරිණි.

    ශ‍්‍රී ලංකාවේ විරැකියා ගැටලූවට ස්ථීරසාර විසඳුමක් ලබාදෙමින් සියලූ රැකියා පුහුණු හා සම්පත් මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ක්‍රියාත්මක වෙයි.


    තරුණ තරුණියන්ට තමන් තෝරාගත් වෘත්තිය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාවක් සලසාදීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකු ඇතුළු ජාලගත වෘත්තීය තොරතුරු සේවාවක් සැපයීම, පෞද්ගලිකව වෘත්තීය මාර්ගෝපදේශකයන් හමුවීමට අවස්ථාව, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම හා රටපුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.


    එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්කරගත් තිරසර සංවර්ධන වැඩසටහන සහ තිරසර ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙත තාරුණ්‍යය යොමු කිරීම ද, තරුණ පරපුර අතරින් විරැකියාව තුරන් කිරීම, ස්වභාවික සම්පත් නිසි කළමනාකරණකින් යුතුව භාවිතා කළ හැකි නව කාර්මාන්ත හා ආයෝජන ඔවුන් වෙත හඳුන්වාදම වැනි ගෝලීය ඉලක්ක ද මේ මගින් සපුරා ගැනේ.

    මොනරාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබදව ඉදිකෙරුණු ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් තරුණ තරුණියන් සමඟ සුහද කතා බහක නිරත විය.

    අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ , රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් ද ස්මාර්ට් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් එරික් ප‍්‍රසන්න වීරවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 20:17

    Latest News