ක්‍රිකට් මූල්‍ය ප්‍රධානී තවදුරටත් රිමාන්ඩ්

නොවැ 15, 2018

    රහස් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද අධිකරණය සඳහන් කළා.

    රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.

    මෙහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන් වී ඇති බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද නියම කළේය.

    ක්‍රිකට් තරගාවලියක රූපවාහිනී ප්‍රචාරක අයිතිවාසිකම ලබා දීමෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් 187084 ක මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකොට වෙනත් ගිණුමකට බැර කිරීම තුළින් එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් සැකපිට රහස් පොලිසිය ගෙන එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 15:30

    Latest News