පා. ම. දයාසිරි: UNP නව පෙරමුණේ සාමාජිකයකුවීමේ බලාපොරොත්තුවක් තවම නැහැ......

ජූලි 22, 2019

    එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 05 වැනිදා බිහි කරන නව පෙරමුණෙහි සාමාජිකයකුවීමේ බලාපොරොත්තුවක් තවම නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ (21) අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන වල ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්විණි. එහිදී ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය සදහා සූදානම් වීම හා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්විණ.

    මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා........
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරණයට සූදානම්, අපි මේ දැනුත් ඒ සඳහා තමයි සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට ගැලපෙන හොඳ තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපට ජනාධිපති අපේක්ෂකයා ලෙස අර නම - මේ නම කියලා නම් කරන්න විශේෂයක් නෑ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ රටේ ජනාධිපති, එතුමාට තවත් වරක් ඉල්ලන්නත් ව්‍යවස්ථාවෙන් පුළුවන්කමක් තියෙනවා. එතුමා තමයි අපේ අපේක්ෂකයා බවට පත් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය හා පොදු ජන පෙරමුණත් ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් යෝජනා කරමින් තිබෙනවා, ඒ කවුරුත් අපිට අභියෝගයක් කර ගන්න අවශ්‍යතාවක් නෑ, අපි මැතිවරණයට සූදානම් වෙනවා, බලමු මැතිවරණයේදී, ජනතාවනේ තීරණය කරන්නේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා........
    එක්සත් ජාතික පක්ෂය ලබන 05 වැනිදා ඔක්කොම එකතු කරලා පෙරමුණක් හදනවා. පෙරමුණක් හදන කොට පෙරමුණේ නායකයා තීරණය කරනවා මිසක්, එක පක්ෂයකට බෑ තීරණයක් ගන්න අපේ ජනාධිපති අපේක්ෂක මෙයා, තමුසෙලා කැමති නම් ඇවිත් අපිත් එක්ක වැඩ කරනවා කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා අලුත් ජනාධිපති අපේක්ෂක කියලා වෙන විකල්පයක් නෑ, දැන් තියෙන තත්වය අනුව රට තියෙන්නේ ඉතාම නරක තැනක. එක් කෝටි විසි හත් ලක්ෂයක් - එක්කෝටි තිස් ලක්ෂයත් අතර ඡන්ද වැටෙයි ඉදිරි ජනාධිපතිවරණයේදී , ඒකෙන් ලක්ෂ 65 ක් ජන්ද ගන්න ඕන, කිසිම පක්ෂයක් ජන්ද ලක්ෂ 65 ක් අරන් නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පහුගිය මැතිවරණයේදී ගත්තේ ලක්ෂ 50 යි. අර ඩිලාන් පෙරේරා කියලා තිබුණා මමයි, හිටපු ලේකමුයි, කේලමුයි වීජ ගණිතයෙන් ගණන් හදන්නේ කියලා. අපි නම් වීජ ගණිතයෙන් නෙමෙයි අංක ගණිතයෙන් වැඩ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ලබන 05 වැනි දින හදන අලුත් පෙරමුණෙහි සාමාජිකයකු වීමේ බලාපොරොත්තුවක් තවම නෑ, අපි තවමත් ස්ථාවරව, පක්ෂය විදිහට තීන්දුවක් අර ගත්තේ නෑ, රට ගොඩගන්න පුළුවන් කාටද කියන එක ගැන යම් අදහසක් තියාගෙන අපි ඉදිරියට යන්න ඕන, ඒ නිසා අපිට පවුල් වාදයත් අවශ්‍යය නෑ, ගජමිතුරුවාදයත් අපිට අවශ්‍යය නෑ, අපිට ඕන හොඳට මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන හොඳ සන්ධානයක් හදාගන්න එක ඒකට අපි සියලු දෙනාම මහන්සි වෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා.......
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව පක්ෂයක් විදිහට කියන කාරණයක්, ඒක ඉදිරියේදී අපි සන්ධානගත වීම මත මොකක්ද අපේ එකඟතාවය කියලා තවම අපිට කියන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදිය යුතුයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවන් හැදිය යුතුයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණය පරාජය වුණත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ යුතුයි කියන එක තමයි පක්ෂයක් විදිහට අපේ මතය.

     

    Latest News