හෙට සිට පොඩිත්තන්ට කිරි (වීඩියෝ)

ජූලි 22, 2019

    ප‍්‍රාථමික පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන් හෙට රත්නපුරයේදී පැවැත්වේ.

    2025 වන විට ශ‍්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව මෙම වැඩ සටහන ක්‍රියාත්මකයි. ඒ අනුව ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරේ.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි “කිරෙන් සපිරි දැයක්” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහය ලබා දෙයි. මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.


    පාසල් ළමුන් තුළ පවතින මන්දපෝෂණ තත්ත්වය මැඩ පැවැත්වීමත්, දියර කිරි පරිභෝජනයට මෙරට ජනතාව හුරු කරවීමත්, ලංකාව තුළ දියර කිරි නිෂ්පාදනය ප‍්‍රචලිත කිරීමත්, කිරිපිටි ආනයනය සඳහා වසරකට වැයකරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 400ක විශාල පිරිවැය අවම කිරීමත් මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම කිරෙන් සපිරි දැයක් වැඩසටහනේ තවත් ප‍්‍රමුඛ අරමුණක් වන අතර මෙම වැඩසටහනට සමගාමීව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ම කිරි ගම්මාන ඇති කිරීමේ වැඩසටහනක් ද ග‍්‍රාම ශක්ති හරහා ක්‍රියාවට නැංවේ.


    හෙට කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක අවස්ථාවට ප‍්‍රදේශයේ පාසල් දහතුනක සිසු දරු දැරියන් එක්දහස් පන්සීයක් පමණ සහභාගී වීමට නියමිත අතර මේ හා සමගාමීව කලවාන ප‍්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබා දීමට ද නියමිතය.

    Last modified on සදුදා, 22 ජූලි 2019 20:10

    Latest News