විශ්වාස භංගය සම්මත වු බව කථානායක කියයි

නොවැ 16, 2018

    පාර්ලිමේන්තුවේ අද පැවති තත්වය පිළිබඳව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    උපුටා ගැනීම...
    2018 නොවැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සමඟ ගරු කථානායකතුමා ඇතුලු පක්‍ෂ නායකයන් පවත්වන ලද සාකච්ජාවේදී එළඹුනු තීරණය අනුව, අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද මෙහි පහත සඳහන් යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව, අද දිනම පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවට ගරු කථානායකතුමා විසින්, ගරු ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් දන්වා යැවීමට අද පස්වරුවේ පියවර ගනු ලැබිණ. එම විශ්වාසභංගයට සහය පළ කරමින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් අත්සන් තබන ලද ලේඛණය ද ඒ සමඟ ගරු ජනාධිපතිතුමන් වෙත යැවීමට පියවර ගනු ලැබිණ.
    කථානායක මාධ්‍ය අංශය.
    උපුටා ගැනීම අවසන්.
    කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා. එහිදී සඳහන් කෙරුණේ,පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා, ඔවුන්ට දැනුම් දුන් බවයි. ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසට දන්වා සිටියා.

    ඊට අනුව, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා, ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදන‍යේ සඳහන්. එසේම, පාර්ලිමේන්තුව තුල සාමය තහවුරු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවලින් ඊයේ ඉල්ලා සිටියා.

    ඊයේ පස්වරුවේ පැවති හමුවේදී ඇති කරගත් එකඟතාවන් කඩවන අයුරින් කථානායකවරයා ක්‍රියා කිරීම අද පාර්ලිමේන්තුව තුල අර්බුදය ඇතිවීමට හේතුවී තිබෙනවා. විශේෂයෙන් ස්වාධීන පුද්ගලයෙකු වන කථානායකවරයා, පක්‍ෂ රැස්වීමට සහභාගිවීම සම්ප්‍රදායට පටහැනි බව නීතිය පිළිබඳ මහාචාර්ය දිනේෂ් කේ.ගුණසේකර මහතා පවසනවා.

    ඊයේ පැවති රැස්වීමට සහභාගිවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටි අතර, මෙය එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමක් බව පවසමින් ඔහු හමුවට සහභාගි නොවී පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ. කථානායකවරයාගේ ක්‍රියා කලාපය මුළුමණින්ම ව්‍යවස්ථා විරෝධි බව නීතිය පිළිබඳ මහාචාර්ය දිනේෂ් කේ.ගුණසේකර මහතා පවසනවා.

     

     

     

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 20:38

    Latest News