ජාතික රූපවාහිනියට ගෝලීය මාධ්‍ය ආයතනවලින් සුභාශිංසන (වීඩියෝ)

ජූලි 31, 2019

    ජාතික රූපවාහිනිය, ආසියා ශාන්තිකර කලාපයේ හොඳම පුවත් සපයන්නා ලෙස සම්මානයට පාත්‍රවීම පිළිබඳව, ගෝලීය මාධ්‍ය ආයතන සුභාශිංසන පළ කරයි.

    අන්තර්ජාතික තලයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ශක්තිමත් කිරීම සඳහා ජාතික රූපවාහිනියෙන් ඉටුවන සේවය ප්‍රශංසනීය බව කලාපීය මාධ්‍ය ප්‍රධානීන්ගේ අදහස වූහ. තුර්කියේ ඉස්තාන්බුල් නුවර දැන් පැවැත්වෙන ආසියා ශාන්තිකර විකාශන සංගමයේ ගෝලීය ප්‍රවෘත්ති සම්මේලනය හා සමගාමීව සම්මාන උළෙල පැවැත්විණ. ඒෂියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුවට දෛනිකව දායක කෙරෙන ප්‍රවෘත්ති අංග පදනම් කරගනිමින් සම්මාන ප්‍රදානය සිදු කෙරිණ. ඒෂියා විෂන් ප්‍රථම වාර්ෂික සම්මාන උළෙල වන මෙහිදී සම්මාන පිරිනැමුණේ කාණ්ඩ 3ක් යටතේ. කලාපයේ හොඳම එසැණ පුවත් වාර්තාකරණය සඳහා වන සම්මානය හිමිකර ගත්තේ ජාතික රූපවාහිනියයි. අනෙකුත් කාණ්ඩ දෙක සඳහා ද ජාතික රූපවාහිනිය නිර්දේශවීම ද විශේෂත්වයක්.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ගුණාත්මක වාර්තාකරණය මෙහිදී ඇගයීමට ලක් කෙරිණ. සිද්ධිය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා අන්තර්ජාතික ප්‍රජාවට ලබාදීම මෙන්ම සිද්ධියේ පසු තත්වය වාර්තාකරමින් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය අන්තර්ජාතික වශයෙන් යළි තහවුරු කිරීමට ජාතික රූපවාහිනිය සමත් වූ බව සාමාජික රටවල පිළිගැනීම වේ. මෙරට පිළිබඳ විශ්වාසය තහවුරු කෙරෙන සාධනීය මාධ්‍ය වාර්තා තම රටවලදී සැකසීමට ජාතික රූපවාහිනිය ඒෂියා විෂන් ප්‍රවෘත්ති හුවමාරුව ඔස්සේ ලබාදෙන වාර්තා ඉවහල් වන බව ද ඔවුන් පෙන්වා දුනි. ජාතික රූපවාහිනියේ මාධ්‍ය මෙහෙවර අගය කරන අතරම එය ශක්තිමත් වීම සඳහා සුබපතන බව කලාපීය මාධ්‍ය ප්‍රධානීන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර දී කියා සිටියේය.

    Last modified on බදාදා, 31 ජූලි 2019 20:32

    Latest News