විනාඩි 9න් බෝට්ටුවෙන් දැන් කොළඹට

අගෝ 22, 2019

    දකුණු ආසියාවේ අලංකාර සහ හොඳම නගරය බවට කොළඹ නගරය පත්කිරීම තම බලාපොරොත්තුව බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගෙන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සූදානම් බව අද (22) කොළඹදී සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර අවුරුදු 50-60 ක කාලය තුලදී ඉටු කිරීමට නොහැකි වූ ඉතා විශාල සංවර්ධන කටයුතු රැසක් කොළඹ නගරයේදී මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (22) කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසදුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

    එහිදී තව දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    "කොළඹ නගරය නවීකරණය කර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කැපවී වැඩ කටයුතු කර තිබෙනවා. එයින් එක් ප්‍රතිඵලයක් ලෙස මෙම බෝට්ටු සේවාව හැදින්විය හැකියි. කොළඹ නගරය අලංකාර නගරයක් බවට දැන් පත්වී තිබෙනවා. එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් එම නගරය තවත් දියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඉදිරි වසර 03ක් තුලදී කොළඹට අලූත් මාර්ග පද්ධතියක් එකතු වෙනවා. සැහැල්ලූ දුම්රිය මාර්ග සහ කුළුණු මතින් ඉදිවෙන මාර්ග යනුවෙන් කොළඹ නගරයේ අලූත් මාර්ග පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා. මෙම දියුණුව සමගින් කොළඹ නගරය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්තානයක් බවට පත්කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා.කොළඹ නගරය සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජයන්වලට කිසිදු සැලස්මක් තිබුණේ නැහැ. කොළඹ නගරය සංවර්ධනය කිරීමේ නිසි සැලැස්ම අපි විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතිනවා. ඉදිරියේදී දේශීය සහ විදේශීය ආයෝජන ලබාගෙන ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා. මහා මාර්ග පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය, සංචාරක යන විවිධ කේෂ්ත්‍රවලින් කොළඹ නගරය සංවර්ධනය කරනවා.” 

    beere px 900 22 08 19

    කොළඹ කුණු ප්‍රශ්නය විසදීම සඳහා අපිත් සමග කොළඹ මහ නගර සභාව එක්ව කටයුතු කළ යුතු බව පැවසූ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අරුවක්කාලූ අංගනයෙන් පුත්තලම අවට ජනතාවට කිසිදු අපහසුතාවයක් ඇතිවීමට ඉඩ ලබා නොතබන බව ද පැවසීය. මෙම යාත්‍රා සේවය මහජනතාවගේ බඳු මුදලින් නොව රාජ්‍ය ඉඩම් සංවර්ධන සංස්ථාව මෙම වසරේ ලබාගත් ලාභය යොදා ගනිමින් සිදු කර ඇති බවත් එම නිසා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව විසින් අපේ අමාත්‍යාංශය අංක 01 බවට ශ්‍රේණිගත කර ඇති බව ද පැවසීය.

    මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, මුජිබර් රහුමාන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් , දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Latest News