"තීන්දුව හරි අතර"..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදට 68යි

සැප් 03, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා අදට වසර 68ක් සපිරෙයි. සංවත්සර සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වීමට නියමිතයි.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අද පැවැත්වෙන 68 වැනි සංවත්සර සම්මේලනයේ තේමාව "තීන්දුව හරි අතට" යන්නයි.

    මේ සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් එක්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 වසරේ දී පිහිටුවා ගැනුණේ, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පංචමහා බලවේගය මුල්කරගත් එම ප්‍රගතිශීලී බලවේගය 1956 පැවති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළේය. 1956 හැඳින්වෙන්නේ මෙරට ක්ෂේත්‍ර රැසක දැවැන්ත පෙරළියක් සිදුවූ වසරක් ලෙසයි. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම, කඹුරු පනත මගින් අඳගොවි අයිතිය ආරක්ෂා කිරීම පෙරලියක ආරම්භය විය. එය මාර්ටින් වික්‍රමසිංහයන් හැඳුන්වූයේ, බමුණු කුලයේ බිඳවැටීම ලෙසයි. බණ්ඩාරනායක ශ්‍රීමතානන් 1959 සැප්තැම්බර් 25 වැනිදා ඝාතනය කෙරිණ. ඒ චීවරධාරියෙකු සිදු කළ වෙඩිතැබීමකින්.

    ඉන්පසු පක්ෂයේ නායකත්වයට පත්වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. 1960 සහ 1972 පැවති මහ මැතිවරණ ජය ගැනීමට මැතිණියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්විය. කර්මාන්ත ආරම්භ කිරීම, ජනසතු ව්‍යාපාරය, රාජ්‍ය බැංකු ස්ථාපනය, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය, 1972 ජනරජ ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රටට උරුම වූ ප්‍රතිලාභ කිහිපයකි.
    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයට පත්විය. පක්ෂයේ වත්මන් සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

     

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 07:48

    Latest News