පළාත් සභා ඡන්දය පවතින නීතියට පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

සැප් 02, 2019

    පෙර පැවති නීතිය යටතේ හෝ සංශෝධන පනත යටතේ හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

    ඡන්දය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසුමට අනුව මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන්. පළාත් සභා ඡන්දය පැවැත්වීම ප්‍රමාදවීම හේතුවෙන් ජනතාවගේ ඡන්ද බලය අහිමිවන බව පවසමින් ඡන්දය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා සිටියේය. එය සොයා බැලීම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදු කෙරිණ. ඒ අනුව ජනාධිපතිවරයා වෙත එවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරිණ. එහි දැක්වෙන්නේ 2017 ඔක්තෝබර් මස සීමානිර්ණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවනු ඇති බවයි.

    එම කමිටුව සකස් කළ වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට බාරදුන් අතර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අනුමත වූයේ නැහැ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් මගින් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයාට බාර දිය යුතුය. එම කමිටුව සිය වගකීම නියමිත පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ඒ අනුව කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර ඇත්තේ සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධිවිධාන ප්‍රකාරව පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බවයි.

    Latest News