දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවසට - ජනපති (විඩියෝ)

නොවැ 23, 2018
  • දේශපාලනයේ උඩුගම් බලා පිහිනන්නේ මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    එම වෑයම රට වෙනුවෙන් හෙට දවසේ ජයග‍්‍රහණය කළහැකි වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මාතෘ භූමිය වෙනුවෙන් ගෙන යන සටනේ දී කිසිදු තැනක තමා තනී වී නොමැති බවත්, රටට ආදරය කරන සියලූ පොදු ජනතාව තමා සමග අත්වැල් බැඳගෙන සිටින බවත් කියා සිටියේ ය. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) පස්වරුවේ කොළඹ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උළෙල අමතමිනි.

    2015 ජනවාරි 08 වනදා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් තමා සිදු කළේ දේශපාලනයේ උඩුගම්බලා පිහිනීමක් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා අද දවසේ රටට අහිතකර සියලූ බලවේගයන් ඉවත් කරමින් ගෙන යන මෙම වැඩපිළිවෙළ ද දේශපාලනයේ උඩුගම් බලා පිහිනීමක් බව කියා සිටියේ ය.

    එම සටනේ දී තමාට අහිවීමට ඇත්තේ තම තනතුර සහ ජීවිතය පමණක් බව ද සඳහන් කළ ජනාධිපතිතුමා එම අහිමිවීම් වුවද මාතෘ භූමියේ වෙනුවෙන් සතුටින් පිළිගැනීමට සූදානම් බව කියා සිටියේය. තමාගේ සටන දුෂණයට, වංචාවට, ඒකාධිපතිත්වට, සමාජ විරෝධි ක්‍රියාවලට, මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමට, අයුක්තියට, අසාධාරණයට, දේශද්‍රෝහිත්වයට සහ රටට අහිතකර සියලූ බලවේගවලට එරෙහිව බව සඳහන් කළ ජනාධිපතිතුමා අද දවසේ තමා වැරදි ලෙස පෙනෙන සියලූ දෙනා හෙට දවසේ තමන් නිවරුදි නායකයෙකු ලෙස හඳුනාගනු ඇති බව ද සඳහන් කළේය. එමෙන්ම තම සටනේ දී සුදු කළු බේදයක් තමාට නොමැති බව ද පැවසු ජනාධිපතිතුමා එම සටනේදී තමා කිසිදු අවස්ථාවක, කිසිදු තැනක සෙලවී නොමැති බව ද කියා සිටියේය.

    වැරදිකරුවන් සහ නිවැරදි කරුවන් කවුද කියා හෙට දවසේ දී හෙළිවනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ සංවාදයකට තමා සමග පැමිණෙන්නැයි තමන් ඉහළ පෙළේ ඕනෑම දේශපාලනඥයෙක්ට ආරාධනා කරන බවත් වැරදිකරුවන් සහ නිවැරදිකරුවන් කවුද කියා පැහැදිළි කර දීමට එහිදී තමා සූදානම් බවත් පැවසීය. ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් තනතුරුවල බලෙන් රැදී සිටීමට වෙර දරන අයෙක් නොව තම ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් රට වෙනුවෙන් නිසි ලෙස ඉටුකර සතුටින් නික්ම යන කෙනෙක් බවයි.

    මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ රජත ජයන්තිය වෙනුවෙන් පවත්වන ලද තර`ගවල ජයග‍්‍රාහකයන්ට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 20:41

    Latest News