හරිත කෘෂි නිෂ්පාදනාගාරයට මුල්ගල් තැබීම ජනපති අතින් (වීඩියෝ)

ඔක් 08, 2019

    ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඝෘජු විදේශ ආයෝජනයෙන් ශී‍්‍ර ලංකාවේ පළමු මහා පරිමාණ හරිත ආයෝජන ව්‍යාපෘතිය වන ග‍්‍රාමීය මඤ්ඤොක්කා නිෂ්පාදන විදේශීය වෙළෙඳ පොළට හඳුන්වා දෙන නව ව්‍යාපෘතියේ සමාරම්භය සහ නව කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධාන්තවයෙන් අද (08) පස්වරුවේ පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප‍්‍රදේශයේ දී සිදුකෙරිණි.

    ග‍්‍රාමීය ව්‍යවසාය ප‍්‍රවර්ධනයේ අභිනව යුගයක උදාව සනිටුහන් කරමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ස්ටාර්ච් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම හා ඒකාබද්ධව සම්ප‍්‍රදායික කෘෂි නිමැවුම් නැවුම් මුහුණුවරකින් විදේශ වෙළෙඳ පොළට හඳුන්වාදීමේ අරමුණින් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවා තිබේ. ගොවිබිම් සරු කරන අක්කර 37,500ක මඤ්ඤොක්කා වගාවක්, රටපුරා විසිරී සිටින ගොවීන් විසිදහසකගේ අස්වැන්නට වෙළෙඳ පොළක්, නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණවලින් යුත් නිෂ්පාදනාගාරයක් මෙමගින් රටට හිමිවන අතර මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය රටට ගලා එන නව අපනයන මුලාශ‍්‍රයකි.

    නව කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද ස්ටාර්ච් ඉන්ඩස්ටි‍්‍රස් පුද්ගලික සමාගමේ සභාපති ඇන්ඩි‍්‍රයාස්වයික් මහතා ඇතුළු දෙස්-විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 20:02

    Latest News