Up date - යාපනය ජනතාවගේ සිහන සැබෑ කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය. එ අනුව පලාලී ගුවන් තොටුපල යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසින් ප්‍රකාශයට පත්කරමින් එහි සමරු පලකය ජනාධිපතිතුමාගේ අතින් විවෘත කෙරිණ.
එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිට් සිං සඳු මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ. සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි සිට විශේෂ දූත පිරිසක් සමඟින් යාපනය ගුවන්තොටුපොළ වෙත ළගා විය.
සාමාන්‍යයෙන් යාපනයේ වැසියෙකුට විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට කිලෝමීටර් 400ට වැඩි පැමිණිමට සිදුවන අතර එයට පැය 8ක පමණ කාලයක් ගත කිරිමට සිදුවේ.
එම තත්ත්වය ඉදිරියේ වෙනස් වීමට නියමිත වන්නේ ඉන්දියාවේ ගමනාන්ත කරා වූ ගුවන් ගමන් යාපනය සිටම ක්‍රියාත්මක කිරීමට ඇති සුදානම හේතුවෙනි. එ අනුව දේශීය ගුවන් ගමන් සඳහා යොදාගන්නා යාපනය පලාලි ගුවන් තොටුපළ අද විවෘත වීමත් සමගින් තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අද විවෘත වීය.
"යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ" ලෙස නම් කර ඇති මෙම පලාලි ගුවන්තොටුපළ, රුපියල් බිලියන 3ට ආසන්න මුදලක් වැය කරමින් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස වැඩිදියුණු කොට තිබේ. එයාර් ඉන්දියා ගුවන්සමාගමට අයත් කලාපීය ගුවන් සේවාවක් වන එලායන්ස් එයාර්හි විශේෂ ගුවන් යානයක් මංගල ගුවන් ගමන සිදුකළේය.
ජාත්‍යන්තර ඉයාටා (IATA) ගුවන් සමාගම් කේත අනුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ JAF ලෙස හැඳින්වීමට නියමිතය. යාපනය ගුවන්තොටුපළ 1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර එය පසුව ආරක්ෂක හේතුන් මත නවතා දැමිණ.
ඉන්පසු යාපනයේ පලාලි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මකවූ අතර යාපනය සහ කොළඹ අතර ගුවන් ගමන් සඳහා එම ගුවන්තොටුපළ යොදා ගැනිණි.
2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පලාලි ගුවන්තොටුපළ යොදාගන්නා ලෙස ඉල්ලීම් කෙරුණද එය ක්‍රියාත්මක නොවිණි. 2015 වසරේ වත්මන් යහපාලන රජය බලය පැමිණිමත් සමග උතුැරු පලාත වෙනම ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරිමේ සැලැස්ම යටතේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරිම සිදුවිය.
මෙම ගුවන්තොටුපළ සංවර්ධනයට ආයෝජනය කෙරෙන සම්පුරුණ මුදල රුපියල් මිලියන 2250ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක් ඉන්දියාව ආධාරයක් ලෙස සපයා තිබේ. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දැනට අවසන් කර ඇති අතර ඒ සමඟම ආසන 80ට අඩු ගුවන් යානා එහි හැසිරවීම සිදුවේ.
ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ස්ථාපණය කිරිමත් සමගින් විශාල ගුවන්යානා මෙහි ගොඩබෑමට හැකියාව සැලසේ.
ඉන්දියාවේ චෙන්නායි, ට්‍රිචි සහ කෝචි යන නගරවලට යාපනයේ සිට සතියකට ගුවන් ගමන් තුනක් ඇරඹීමට එලායන්ස් එයාර් සමාගම දැනට එකඟවී තිබේ. ඉදිරි ගුවන් ගමන් ඒ සඳහා ඇති ඉල්ලුම අනුව වැඩි කිරිමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ යාපනය සිට දකුණු ඉන්දියාව දක්වා ගුවන් ගමන් යළි ආරම්භවීමෙන් ඉන්දු- ශ්‍රී ලංකා සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් ආරම්භයක් විය හැකි බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසයි.
මෙම ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වීම ගැන සතුට පළකරමින් උතුරේ ජනතාව සමාජ මාධ්‍යවල විවිධ අදහස් පලකර තිබේ. මේ වන විට සැලසුම් කර ඇති මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ පසු මඩකලපුව සිට චෙන්නායි දක්වා ගුවන් සේවයක් ක්‍රියාත්මක කිරීමට එලායන්ස් එයාර් කැමැත්ත පළකර ඇත.
...........................................................
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත කෙරේ
යාපනය, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ. ප්‍රථම ගුවන් යානය චෙන්නායි සිට යාපනය ගුවන්තොටුපොළ වෙත අද ළඟාවීමට නියමිතයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. උතුරේ ජනතාවට කටුනායකට නොගොස් යාපනයේ සිට දකුණු ඉන්දියාවට යාමේ අවස්ථාව මෙමගින් උදා වෙයි. ඉදිරියේ දී මාලදිවයින,මැලේසියාව යන රටවලට ද ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.
දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටයි, නියමිතව ඇත්තේ. යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250ක්. ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ඊට වැය කෙරෙන බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.